සිතන්නට යමක්

සිය සිත රැක ගන්න“

අප විසින් රැක ගත යුතු, සිත් පිත් ඇති නැති නොයෙක් දෑ අතර අප සිත රැක ගැනීමම ප්‍රධානය ය. සිත රැක ගන්නැයි කීම පහසුය. ඒ සිත රැක ගැනීම ඉතා අසීරුය. මුර කිරීමට අසීරුය. එතරම් සියුම් , පුදුම එළවන, විසිතුරු, දුර ගමන් යන සුළු සිත යමකු අමාරුවෙන් හෝ රැක ගතහොත් ඔහු දිනුවා වූවෙකි. කෝටියක් මිනිසුන් පරදවා ජය ගනිතත් තමන් විසින් තම සිත දිනා ගත්තේ නැතිනම් හේ පැරදුන කෙනෙකි.

Sunday, October 27, 2013

2011-7-24 දින බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වූ වස්සාන ධර්ම මාලාවේ ධර්ම දේශණාව ඇසුරින් සකසන ලදී
මහා සතිපට්ඨාන සූත්‍රය
මජ්ජිම නිකායේ මූල පන්නාසකය
දේශකයන් වහන්සේ පූජ්‍ය නන්දසිල  හිමි.
  බුදු රජානන් වහන්සේ කුරු රට කම්මාසදම්ම නම් ප්‍රදේශයේදි දේශනා කරන ලද්දකි. මෙම ගැඹුරු ධර්මය අවබෝධ කිරීමට තරම්  බුද්ධිමත් පිරිසක් ජීවත්වීමත් එම වැසියන් නිරතුරු සතර සතිපට්ඨානය වැඩීමත් මෙම ප්‍රදේශය තෝරා ගැනීමට හේතු විය.
  අවබෝධ කළයුතුවූ චතුරාර්‍ය සත්‍ය ස්වයං ඥණයෙන්ම අවබෝධ කළා වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් දේශණා කරන ලද්දා වූ උතුම් ධර්ම කොට්ඨාශ අතරින් ඉතා ප්‍රකට වූ නිරන්තර ගෞරවයට පාත්‍රවූ දේශනාවකි. බුදු රජානන් වහන්සේ ගේ ධර්මයෙහි උතුම් පරමාර්ථය චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරවීමයි. සතිපට්ඨානය යනු සිහිය පිහිටුවා ගැනීමයි. සිහිය පිහිටුවා ගැනීමේ මාර්ගය වශයෙන් ඇති එකම මාර්ගය වූ මහා සතිපට්ඨාන සූත්‍රය අනුපස්සනා හතරකට බෙදෙනවා.  ඒ සතර සතිපට්ඨානය නම්   කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ය.
අප සන්තානගතව කෙළෙස් එක් දහස් පන්සියයක් ඇත. මේවායින් අත්මිදීමට, ප්‍රහාණයට , ආර්ය අෂ්ඨාංගික මාර්ගය අවබෝධයට හා  චතුරාර්‍ය  සත්‍ය අවබෝධයට,  සතර සතිපට්ඨානය වැඩීම ප්‍රායෝගික වූවකි.ආශ්වාස ප්‍රාශ්වාසය  මූලික කරගත් ආනාපාන සති භාවනාව සතර සතිපට්ඨානය වැඩීමට ආරම්බක භාවනාව වශයෙන් ගැනේ. ආනාපාන සති භාවනාව තුළින් සතර සතිපට්ඨානය පමනක් නොව බොජ්ඣංග ධර්මද වැඩේ.
ආනාපාන සතිය මඟින් කායානුපස්සනාව වැඩීමේදී සිහියෙන් හුස්ම ගන්නත්  සිහියෙන් හුස්ම පිට කරන්නත් පුරුදු කිරීමෙන් භාවනාව තුළ සිත පිටුවා ගන්න පුරුදු විය යුතුයි. කලක් පුහුණු කරන විට හුස්ම රැල්ලේ  තිබෙන වෙනස් කම් ප්‍රකට වන්නට පටන් ගනී. දීර්ඝ ආශ්වාස දීර්ඝ ආශ්වාස වශයෙන් හා කෙටි ආශ්වාස කෙටි  ආශ්වාස වශයෙන් දීර්ඝ ප්‍රාශ්වාස දීර්ඝ ප්‍රාශ්වාස වශයෙන් කෙටි ප්‍රාශ්වාස කෙටි ප්‍රාශ්වාස වශයෙන් ආශ්වාස ප්‍රාශ්වාසය තුළ තිබෙන වෙනස්කම් තේරුම් ගැනීමට හැකිවේ.
 මිලඟට ආනාපාන සතිය තුළ මුළු කයම තේරුම් ගනිමින් ආශ්වාස ප්‍රාශ්වාස කරනවා.කෙළෙස් දුරුකරන වීර්යයෙන් යුතුව කෙළෙස් ප්‍රහාණය කරන නුවණින් යුක්තව කය කෙරෙහි යොමු කල මනා සිහියෙන් යුක්තව කය කෙරෙහි පවතින ලෝභයන් දෝමනස්සයන් දුරු කරමින් කායානුපස්සනා සතිපට්ඨානය වඩනව. කායානුපස්සනා තුළින් කයේ යථා ස්වාභාවය ඔහුට අවබෝධ වෙනව. කායානුපස්සනා සමථය තුළින් ඔහුට හැකිවෙනව සතර මහා ධාතූන්ගෙ හට ගත් මේ කය ආශ්වාසය ප්‍රාශ්වාසය සේම අනිත්ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනාව වැඩීමට හැකිවේ.
වේදනානුපස්සනාව යනු වේදනාව යථා ස්වභාවයන් අවබෝධ වන ආකාරයට නුවණින් සලකමින් භාවනා වැඩීමයි. වේදනාව යනු විඳීමයි. සුවදායී  විඳිම සුඛ වේදනා, දුක් සහගත විදීම  දුක්ඛ වේදනා , ඒ දෙකටම නැති මධ්‍යස්ථ වේදනා අදුක්ඛම සුඛ වේදනාවයි.ස්පර්ශය නිසා චක්ෂුරාදී ආයතන හයේ හට ගන්නාවූ සැප දුක් උපේක්ෂා යන මෙම වේදනා ස්පර්ශය වෙනස්විමෙන් වෙනස්වන ආකාරය නුවණින් අවබෝධ කර ගැනීම වේදනානුපස්සනාව.
ආනාපාන සතිය වඩන යෝගාවචරයෙක් තුළ යම් දුක් විඳීමක් සැප දායක විඳීමක් උපේක්ෂා සහගත විදීමක් හට ගත් විට  ඒ විඳිමේ යථා ස්වාභාවය අවබෝධ වන ආකාරයට නුවණින් සලකමින් භාවනාව වැඩීම වේදනානුපස්සනාව වැඩීමයි.
කයේ ක්‍රියාකාරිත්වය අනුව බලමින් භාවනා  කිරීම ඉරියාපත භාවනාවයි. හිදීම, සිටීම, ඇවිදීම, සයනය කිරීම යන ඉරියව් පැවැත්වීමේදී එම ඉරියව් ගැන සිත යොමු කිරීමෙන් කරන භාවනාවෙන් මමය මාගේය යන සක්කාය දිට්ඨිය දුරුවේ.ඊලඟට ශරීරය සෑදී ඇති ආපෝ තේජෝ වායෝ පඨවි යන ධාතුමනසිකාරයද කායානුපස්සනාවයි. එසේම ශරීරය නිර්මාණය වී ඇති කුණප කොටස් 32 වෙන වෙනම භාවනා වශයෙන් වැඩීමද කායානුපස්සනාවයි. එමඟින් ආත්ම සංඥාව දුරුවේ.
චිත්තානුපස්සනාව යනු අපගේ සිත් තුළ ඇතිවන විවිධ වෙනස්කම් පිළිබඳව අවබෝධයෙන් සිටීමයි.විටක අපේ සිත රාගයෙන් යටවෙනව එසේම තවත් විටෙක ද්වේශයෙන් යට වෙනව තව වෙලාවක නොයෙක් බාහිර අරමුණු වෙත සිත විසිරිලා යනව තවත් විටෙක සිත හැකිලිලා ථීන මිද්ධයට බරවෙනව මේ ආකාරයට නානා විධ අරමුණු වලට විසිරෙමින් තිබෙන සිත පිළිබඳ යථා ස්වභාවය නුවණින් සළකා අවබෝධ  කර ගැනීම චිත්තානුපස්සනාවයි.
ආනාපාන සතිය වඩන ආර්ය ශ්‍රාවකයෙකු තුළ මෙබඳු රාගාදි සිතිවිල්ලක් ඇති වූ විට ඒ බව හඳුනා ගෙන එම රාග සිතිවිල්ල මැඩ ගැනීමට අසුභය හෝ අනිත්‍ය වශයෙන් යෝනිසෝමනසිකාරයෙන් යුතුව විමසීමෙන් රාග සිත මැඩ වීතරාගී බවට පත් කර ගැනීමට උත්සාහවත් විය යුතුය. වීතරාගී වූ පසු දැන් මගේ සිත වීතරාගී වූ බව හඳුනා ගත යුතුය.අනෙකුත් සිතිවිලිද මේ ආකාරමය.සිත ආරක්ෂා කිරීමෙන් සියල්ල ආරක්ෂා කලා වේ.
ආනාපාන සතිය වඩන ආර්ය ශ්‍රාවකයෙකයා ඇස කණ නාසය දිව කය මනස යන ආයතන හයෙන් එකක් ප්‍රකට කර ගෙන භාවනාව දියුණු කිරීමේදී අපි හිතමු කය ප්‍රකට කරගත්තා යැයි කයත් ආශ්වාස ප්‍රාශ්වාසයත් කාය විඤ්ඤානයත් එකතු විමෙන් කාය ස්පර්ශය හට ගනී. එම ස්පර්ශය නිසා විඳීමක් හට ගනී. හඳුනාගැනීමත් ඒ තුළ චේතනා පහළ කිරීමත් සිදුවේ.නොඑසේ නම් මනෝ ආයතන ප්‍රකට කර ගත හැකියි.
මනස, ආනාපාන සති අරමුණත්, මනෝ විඤ්ඤානයත් එකතු වීමෙන් මනෝ ස්පර්ශය හට ගනී.ඒ නිසා මනස තුළ ප්‍රීතිය සැපය ආදී විඳීම් හට ගන්නවා ඒ අනුව චේතනා පහළ කර ගන්නවා. මේ විදියට මනෝ ආයතන ක්‍රියාකාරිත්වය හොදින් තේරුම් ගත හැකිය.
මේ ආකාරයෙන් ආයතනයන්ගේ ක්‍රියාකාරිත්වය ප්‍රකට කරගෙන ඒ ආයතන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන්  නුවණින් සලකමින් විදර්ශනා වඩද්දී ඒ තුළ වැඩෙන්නේ ධම්මානුපස්සනාවයි.  

ධම්මානුපස්සී විහරති යනු කුමන ඉරියව්වකදී හෝ ඉදුරන් පිනවීමේ ඇති දැඩිලෝභය කාමච්ඡන්ද නීවරණය. එය වස්තු කාම හා ක්ලේශ කාම යනුවෙන් දෙවිදියකි.යෝගාවචරයා මේ නීවරන ධර්ම නැගී සිටින විට ඔහු එම සිතිවිලි යටපත් කර ගැනීමට උත්සාහ ගනී.

ඇස පිළිබද සිහිය පිහිටු වීම කණ, නාසය,දිව, ශරීරය හා ඒවාට අරමූණු වන රූපාදිය  පිළිබද  යම් කෙනෙක් සිහිය පිහිටුවයි නම් ධම්මානුපස්සනාව වැඩීම සති බොජ්ඣංග ධර්ම විචය පස්සද්ධය ප්‍රීතිසමාධි උපේක්ෂා යන බොජ්ඣංග ධර්ම වැඩෙන සේ සිහිය පිහිටුවයි. ආයතන පිළිබද චතුරාර්ය සත්‍ය  පිළිබද සිහිය පිහිටුවීම ධම්මානුපස්සනාවයි.

No comments:

Post a Comment