සිතන්නට යමක්

සිය සිත රැක ගන්න“

අප විසින් රැක ගත යුතු, සිත් පිත් ඇති නැති නොයෙක් දෑ අතර අප සිත රැක ගැනීමම ප්‍රධානය ය. සිත රැක ගන්නැයි කීම පහසුය. ඒ සිත රැක ගැනීම ඉතා අසීරුය. මුර කිරීමට අසීරුය. එතරම් සියුම් , පුදුම එළවන, විසිතුරු, දුර ගමන් යන සුළු සිත යමකු අමාරුවෙන් හෝ රැක ගතහොත් ඔහු දිනුවා වූවෙකි. කෝටියක් මිනිසුන් පරදවා ජය ගනිතත් තමන් විසින් තම සිත දිනා ගත්තේ නැතිනම් හේ පැරදුන කෙනෙකි.

Wednesday, October 16, 2013


භය භේරව  සූත්‍රය

2011-7-18 දින බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වූ වස්සාන ධර්ම මාලාවේ ධර්ම දේශණාව ඇසුරින් සකසන ලදී
භය භේරව  සූත්‍රය මඣ්ඣිම නිකායේ විනය පන්නාසකය ට ඇතුලත් සූත්‍රයකි.
 දේශකයන් වහන්සේ පූජ්‍ය පාද දොඩන්දූවේ සිරිකර හිමි.
භය යනු බිය උපදවන යන අදහසයි.භේරවයනු බිය ජනක භයානක  අරමුණු ගැනීමයි. බිය  ජනක සිතිවිලි 16ක් බුදුන් වහන්සේ දේශනා කළ සේක .සැවැත්නුවර දෙව්රම් වෙහෙරේදී ජානුස්සෝනි බ්‍රාහ්මණයා නම් මිත්‍යා දෘෂ්ඨික බ්‍රහ්මණයා අරභයා දේශනා කරන ලද සූත්‍ර දේශනාවකි.
සුහද කථා බහකින් පසු ඔහු බුදුන් වහන්සේට මෙවැනි ප්‍රශ්ණයක් ඉදිරිපත් කළේය. ස්වාමීනී ඉතා ඈත වන සෙනසුන් වල වාසය කිරීම දුෂ්කරය ඒවායේ විවේකයද දුෂ්කරය. වනය තුළ සමාධියක් ඇති කර නොගත හැකි  එම වනයෙහි කෙසේනම් වනයට ඇල්මක්  කැමැත්තක් ඇතිව එහි වාසය කරන්නද? ඔවුන් මහ වනයේ ගම් දනව් ඈතින් තබා කටයුතු කරන විට ඔවුන් තුළ සමාධියක් ඇති නොවේ නම් කෙසේ එහි වාසය කරන්නදැයි විමසා සිටියේය.
පැනයට පිලිතුරු දුන් බුදු පියාණනි වහන්සේ, යම් කිසි කුළ පුත්‍රයෙක් නිවන නිමිති කර ගෙන ශාස්තෘ ස්ථානයේ ඉදිරියෙන් තබාගෙන අනගාරික ජීවිතයට පැමිණ පැවිදි වූ විට මා ඔවුනට ආදර්ශ පිණිස කටයුතු කරමි.ඔවුන් ගැන සොයා බලන්නෙමි.ඒ අය මගේ ක්‍රමවේදයන් අනුගමනය කරති. ගුණ ධර්ම සමාදන් වෙති. ඒ මා ආදර්ශයට ගැනීමෙන් යැයි දේශණා කර වදාළහ.
වනයට ඇල්මක්  කැමැත්තක් ඇතිව කටයුතු කරන්නේ ඔවුන් මා ඉදිරියෙන් තබාගෙන කටයුතු කරන නිසා බැවින් ප්‍රශ්නයක් නොවේ.
වනය තුල බිය සැකයෙන් තොරව කටයුතු කිරීමට අරමුණු 16 ක් ඔවුන් තුල තිබිය යුතු බව බුදුන් වදාළහ.
1.     අපරිසුද්ධ කාය කර්මයන්ගෙන් ඈත් විය යුතුය. ඔහු අපිරිසිදු කාය කර්මයන්ගෙන්  ඉවත්ව ජීවත්වන විට ඔහුට භය සන්ත්‍රාෂය ඇති නොවේ. ප්‍රාණඝාතය, අදත්තා දානය, කාමමිත්‍යාචාරය ආදී දුෂ්චරිත වලින් වැළකිය යුතුය. එබඳු කෙනා කිසිවෙකුටත් සතෙකුටවත් බිය නොවේ.අකුසල බියෙන් ඔහු නිදහස්ය.පිරිසිදු කාය කර්මය තුල නිවැරදි අරමුණු පහල වේ. එවිට ඔහු ආරක්ෂිතය.බමුණ මා පිරිසිදු කාය කර්ම ඇති කෙනෙකි.මම වනවාසී දිවිය ප්‍රිය කරමි.මට එහි අනතුරක් නැත.මා අනුව යන මගේ ශ්‍රාවකයින්ටද එහි අනතුරක් නැත.
2.     අපරිසුද්ධ වචී කර්මයන්ගෙන් ඈත් විමයි.වනයට ඇතුළු වන විට බිය සැක දුරු කරන දෙවෙනි කාරණය නම් වචනය අපිරිසිදුවීම හෙවත් වචනයෙන් සිදුවන අකුශලයන් වන බොරුව, කේලාම් කීම,පරුශ වචනය,ප්‍රලාපය යන වාග් දුශ්චරිතයෙන්තොර විය යුතුය. වාග් දුශ්චරිතයෙන් යුතු අය වනයට ඇතුළු වන විට බිය උපදවයි.
3.    අපරිසුද්ධ මනෝ කර්මයන්ගෙන් ඈත් විමයි. අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ඨිය යන සිතින් කරන අකුසලයන්ගෙන් තොරවිය යුතුය.මේවා බිය සන්ත්‍රාසය උපදවන උල්පත් බඳුය.කාය වචී මනෝ කර්මයන්ගෙන් පිරිසිදුවූ විට දශකුසලයෙන් මිදීම නිසා සිත සමාහිත සන්සුන් බවට පත්වේ. එබඳු අයට වනයේ අනතුරක් නැත.
4.     අපරිසුද්ධ ආජීවයෙන් වැළකීම . අපිරිසිදු ජීවිකා පැවැත්ම, වැරදි වෙළදාම (ආයුධ, වස විස, සතුන්, සතුන්ගේ මස්, වෙළදාම)පිරිසිදු ජීවන වෘත්තියක් තෝරා ගත යුතුය. නිවැරදිව යහපත් ජීවිකාවක් ගෙන යන්නා සැමතැනම ආරක්ෂිතය.ඔහුට කිසිම ආකාරයක භයක් තැතිගැන්මක් නොමැත.
5.      අභිජ්ජාව නම් වූ විෂම ලෝභයෙන් වැළැකීම.ලෝභය කා තුලත් ඇත.එහෙත් දැඩි ලෝභය භයානකය.අනුන්ගේ සම්පත් දුටුවිට ඇතිවන ඊර්ෂ්‍යාව, ඒවා අයිති කර ගැනීමට ඇති දැඩි කැමැත්ත ඉතා භයානකය.වනයේ ජීවත්වන භික්ෂූන් වහන්සේ විෂම ලෝභයෙන් තොර විය යුතුය. අනුන්ගේ සම්පත්වලට ආශා නොකරන තැනැත්තාට බියක් සැකක් ඇති නොවේ.විෂම ලෝභයෙන් තොරව වන ජීවිතය මමද ගත කළෙමි. මාගේ ශිෂ්‍යයන්ද මේ දුර්වලතාවෙන් තොර නිසා ඔවුනටද බිය සැක නැත.
6.     කාමේසු පුබ්බ රාගා දරුණු රාගය. දරුණු වශයෙන් ඇතිවන රාගය අති භයානකය.එවැනි අය මහාවිපත් සිදු කරයි. තමන්ද විනාශයට පත්වේ.රාගයෙන් රත්වූ විට පිස්සකුසේ ක්‍රියා කිරීමෙන් තමාටත් අන්‍යයන්ටත් විනාශයක්ම කරයි. රාගයෙන් තොරවූ තැනැත්තේ  බිය සැකයෙන් තොරව කල් ගෙවති.
7.     ව්‍යාපාද චිත්තය. ඉතා නපුරු මනසින් කටයුතු කිරීම භයානක ව්‍යාපාද  යෙන් යුතු මෙම චිත්තයන් අතිශය පිළිකුල් සහගතය. මෛත්‍රී සිත දියුණු කර ගෙන වාසය කිරීමෙන් මෙබඳු අයට භය භේරව පහල නොවේ. ව්‍යාපාද චිත්තය නිසා මාගේ ශිෂ්‍ය භික්ෂූන්ට අනතුරක් නැත්තේ ඔවුන් ව්‍යාපාදයෙන් තොර නිසාය. මෛත්‍රී සහගතව කටයුතු කරන නිසා වන අරණයන්හිදී ඔවුන්ට භීතියක් අන්තරායක් නැත.දෙවියන්ගේ ආරක්ෂාවද ලැබේ.
8.     ථීනමිද්ධපරිවුත්තා සිත කය දෙකෙහි අලස බව.උදාසීන බව බිය සැක ඇති කරවන්නකි. මෙබඳු දුර්වල සිත් ඇතිවූ විට වනයේදී භය භේරව ඇති කරයි. සිත කය දෙක ශක්තිමත් වූ විට වනයේදී ඇති වන බියෙන් සන්ත්‍රාසයෙන් ප්‍රශ්නයක් වන්නේ නැත.
9.     උද්ධච්ච කුක්කුච්ච සිතේ ඇති වන නොසන්සුන් බවහා කලකිරීම.මේ දුර්ගුණ ඇති අය වනයේදී බියට සැකයට පත්වේ. මෙයින් මිදීමට සන්සුන් සිතක් ඇති කර ගත යුතුය නොසන්සුන් සිත නිතරම බියට පත්වේ. සිතේ ශක්තිමත් බව ඇති විට භයින් ත්‍රාසයෙන් නිදහස්වේ.
10.   විචිකිච්ඡාව සැක සහිත සිත.මෙම සැකය සිත පෙලන විට වන සෙනසුන්වල වාසය අප්‍රිය වේ.තමාගේ ශාස්තෘන් වහන්සේ කෙරෙහි මෙන්ම තමා කරන කටයුත්ත නිසැකවම හරියන බවට සැක නැතිව කටයුතු කිරීමෙන් බිය සැක දුරුවේ. වීර්ය අධිෂ්ඨානය මෙහිදී ප්‍රබල විය යුතුය.
11.   අත්තුක්කංෂන පරවංශන සිත. තමා උසස් යයි සිතීම හා අනුන් පහත් කොට සිතීම. මෙයද බිය සැක ඇතිවීමට හේතුවේ. තමා ගේ සීලය හා පැවැත්ම උසස්ය අනිත් අය පහත්ය යනුවෙන් සිතීම නොකළ යුතුය. මානයෙන් හිස උදුම්මාගත් මෙවැනි පුද්ගලයෝ අන්‍යයන්ගේ ගැරහුමට ලක් වේ. වන ගත භික්ෂූන් වහන්සේලා සුවච කීකරු නිහතමානී බවෙන් බය සැක දුරු කොට ගත යුතුය.
12.  භය භිරාන්ත වීම. බිය වැඩි වීම ලොමු ඩැහැ ගැන්වීම ඇති වීම වළකා ගත යුතුය. එඩිතර අධිෂ්ඨානයෙන් කටයුතු කර භය භිරාන්ත බව නැති කර ගත යුතුය.
13.  අප්පිච්ඡතාවය. ලාභ සත්කාර වලට ඇති කැමැත්ත. මෙය වනයේ ජීවිතයට නුසුදුසුය. අල්පේච්ඡතාව දියුණු කර ගත යුතුය.බවුන් වැඩීම ආදියට ලාභ සත්කාර වලට ඇති ලෝභය නුසුදුසුය. මහජනයාගෙන් ලැබෙන ලාභ සත්කාර වලටලෝභ නොකර අල්පේච්ඡ ජීවිතයකට හුරු වීමෙන් බිය සැක දුරු කිරීමට හේතුවේ.
14.   හීන වීර්යය. කුසීතව වීර්ය අඩුවු විට බියෙන් ඇලලේ.ආරද්ධ වීර්යයෙන් යුතුව කටයුතු කළ යුතුය. වීර්ය හීන වීමෙන් නුවණ දුර්වලවේ, සිත කය දෙකම දුර්වලවේ.වීර්යවන්ත වී ආරද්ධ වීර්යෙන් කටයුතු කළ විට බිය සැක දුරුවේ.
15.     අසමාහිත විභංග චිත්තය. එකඟ නොවූ භ්‍රාන්ත වූ සිත වනයේ වාසයට නොගැලපේ. සති සම්පජඤයෙන් කටයුතු කළ යුතුය.සිත එකඟ කර ගැනීම වැදගත්ය.තමා තුල සමාධිය ඇතිවේවායි පැතුමෙන් කටයුතු කළ යුතුය.
16.     නුවණ නැති කෙළතොලූ ගතිය. බිය තැති ගැනීමට මෙය හේතුවේ. දුෂ්පඤ්ඤභාවය කෙළතොලු බවට පත්වේ.ඒ නිසා නුවණැති බව උත්සාහයෙන් ඇති කර ගත යුතුය.ප්‍රඥා භාවය නැති අයට කෙළතොලු අයට භය භේරවය වැඩිය.ඒනිසා නුවණ වැඩි කර ගැනීමට උත්සාහවත් විය යුතුය.
ඉහත කාරණා 16 න් තොරව කටයුතු කිරීමෙන් වන ගතව වාසය කරන යෝගාවචරයන්ට කිසිදු බියක් තැති ගැනීමක් සැකයක් ඇති නොවන බව ජානුස්සෝනි බ්‍රාහ්මණයාට බුදුන් වහන්සේ දේශනා කළ සේක. භය භේරව  සූත්‍රයෙන් බුදුන් වහන්සේ තමන් වහන්සේ වනගතව වාසය කළ සය අවුරුදු කාල සීමාවේදීලැබූ අත්දැකීම් හා ඒවා මග හරවා ගත්තේද යන ආකාරය දේශනා කළ සේක කුමක් හෝ ශබ්දයක් ඇසුනේ නම් ඒ ශබ්දය ආ දෙසට යොමුවී ඒ ශබ්දය කුමක්දැයි සොයා බැලිය යුතුයි .එවිට බිය සැක දුරුව යන බව දේශනා කළහ. අනියත බිය දුරුවේ. තමන් අනුගමනය කරන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කිසිදු බියක් තැති ගැනීමක් නැතිව වනයට සිත් අලවා වාසය කරන බව දේශනා කළහ.

තමන් වහන්සේ ධ්‍යාන සම්පත් වැඩූ බවද ඒ අනුව ධ්‍යාන සම්පත් ලැබූ බවත් රාත්‍රී පෙරයම මැදියම පසුයාමය යන තුන් යාමයේදී පුබ්බේවාසානුස්සති ඥනය, චුතූපපාත ඥනය, ආසවක්කය ඥනය යන ත්‍රිවිද්‍යා පහළ කරගත් බවද දේශනා කළහ.දැනුදු තමන් වහන්සේ වනයට ඇළුම් කරන බව පැවසූහ. තමන් වහන්සේ ගේ සිත සුව පිණිසත් පශ්චිම ජනතාවගේ හිත සුව සැලසීම පිණිසත් වනය ප්‍රිය කරන බව දේශනා කළහ. මේ දේශනාවෙන් පසු මහත්සේ සතුටට පත්වූ ජානුස්සෝනි බ්‍රාහ්මණයා සිය සතුට ප්‍රකාශ කොට බුදුන් සරණ ගිය උපාසකයකු බවට පත්  විය.

No comments:

Post a Comment