සිතන්නට යමක්

සිය සිත රැක ගන්න“

අප විසින් රැක ගත යුතු, සිත් පිත් ඇති නැති නොයෙක් දෑ අතර අප සිත රැක ගැනීමම ප්‍රධානය ය. සිත රැක ගන්නැයි කීම පහසුය. ඒ සිත රැක ගැනීම ඉතා අසීරුය. මුර කිරීමට අසීරුය. එතරම් සියුම් , පුදුම එළවන, විසිතුරු, දුර ගමන් යන සුළු සිත යමකු අමාරුවෙන් හෝ රැක ගතහොත් ඔහු දිනුවා වූවෙකි. කෝටියක් මිනිසුන් පරදවා ජය ගනිතත් තමන් විසින් තම සිත දිනා ගත්තේ නැතිනම් හේ පැරදුන කෙනෙකි.

Sunday, October 13, 2013


2011-7-15 දින බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වූ වස්සාන ධර්ම මාලාවේ ධර්ම දේශණාව ඇසුරින් සකසන ලදී

සබ්බාසව සූත්‍රය
දේශකයන් වහන්සේ පූජ්‍ය පාද මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි
මධ්‍යම නිකායේ අඩංගු සබ්බාසව සූත්‍රය ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිළිබඳව දේශනා කරන ලද්දකි.බුදුන් වහන්සේ දකින කෙනාට හා දන්නා කෙනාටයි මේ දේශනා කරන ලද්දේ. යෝනිසෝමනසිකාරය හා  අයෝනිසෝමනසිකාරය නිසා ආශ්‍රවයන්ගේ වැඩිම කෙලෙසින් සිදුවනවාද යන බව,
ආශ්‍රව නැති කරන ක්‍රම 7 කි.
1.     දස්සන පහා තබ්බා. දර්ශණයෙන් ප්‍රහානය කල යුතුය. අවබෝධයෙන් දැකීම. කල්යාන මිත්‍රයා, ශ්‍රැතවත් ශ්‍රාවකයා, අශ්‍රැතවත් ශ්‍රාවකයා හදුනා ගත යුතුයි. සත්පුරුෂයා හා අසත්පුරුෂයා හදුනා ගැනීමට නම් නුවණ අවශ්‍යයි. යෝනිසෝමනසිකාරයෙන් ධර්මය මෙනෙහි කල යුතුයි. ඒ සඳහා උදාහරණයක් වශයෙන් මාගන්ධියගේ ශරීරය අසූචි කළයකට උපමා කල විට දෙමාපියන් එය යෝනිසෝමනසිකාරයෙන් මෙනෙහි කර එය වටහාගෙන සෝවාන් ආදී මාර්ගඵලයන්ට පත් වුවද මාගන්ධිය අයෝනිසෝමනසිකාරය නිසා බුදු හිමියන් පිළිබඳ වෛර බැඳ විශාල විපත්තියක් කර ගත්තාය.ඇය, බුදු හිමියන් සරණ ගිය සාමාවතී බිසව ඇතුළු පන්සියයක් පිරිස ජීවිතක්ෂයට පත් කළාය. සාමාවතී බිසව ඇතුළු පන්සියයක් පිරිස යෝනිසෝමනසිකාරයෙන් මෙනෙහි කළ නිසා සෝවාන් පලයට පත්වූහ. මෙසේ දර්ශණයෙන් ආශ්‍රව දියුණු කල යුතුය.
2.     සංවරා පහා තබ්බා. සංවරයෙන් ප්‍රහානය කල යුතුය.එනම් ආයතන හය ඉන්ද්‍රිය ධර්ම සංවර කර ගැනීමෙන් කාමාශ්‍රව, භවාශ්‍රව, අවිජ්ජාශ්‍රව නැති කළ හැකි බවය. ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියයන් සංවරයෙන් ආශ්‍රව නැති කර ගත හැකි අතර  ඉන්ද්‍රියයන් අසංවරයෙන් නා නා විධ පව් සිදුවේ. ඒ නිසා පංචනීවරණ දියුණුවේ. පන්සිල් ආදී ශික්ෂා පද සමාදන් වුවත් අප කරන්නේ ඉඳුරන්ගෙන් අරමුණු ගෙන කෙළෙස් වැගිරවීමයි. එය පරිපූර්ණ ශීලයක් නොවේ. ඉන්ද්‍රියයන් සංවරය අත්‍යවශ්‍යයි. කාමයන්ට ඇබ්බැහිවීමෙන් නොයෙකුත් අකරතැබ්බයන්ට පත්වේ. පංචශීල ප්‍රතිපදාව උතුම්වූ ශීලයකි. සංසුන් ඉඳුරන් ඇත්තෝ ආශ්‍රව ක්ෂය කරති.
3.     පටිසේවනා පහාතබ්බා. නුවණින් විමසා සේවනය කිරීම. නුවණින් ඇසුරු කිරීමෙන් දුරු කළ යුතු ආශ්‍රව.මෙය භික්ෂූන්ට පැනවූවකි. සිව්පසය ලබා ගැනීමේදී නුවණින් සේවනය කළ යුතුය. චීවරයක් පාවිච්චි කිරීමේදී උෂ්ණ, ශීතයෙන් ආරක්ෂා වීම, මැසිමදුරුවන්ගෙන් ආරක්ෂා වීම, ලජ්ජා ඇති  තැන් වසා ගැනීම යන කරුණු ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය.පිණ්ඩපාත ගැනීමේදීද උදාර අභිලාෂයන් මුදුන් පත් කර ගැනීම අරමුණු කර ආහාර ගන්නවා යනුවෙන් ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය.සේනාසන පරිහරණය කිරීමේදීද මේ ආකාර උෂ්ණ, ශීතයෙන් ආරක්ෂා වීම, මැසිමදුරුවන්ගෙන් ආරක්ෂා වීම, සතුන්ගෙන් ආරක්ෂා වීම වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය.මේ කරුණු මෙසේ වන විට ආශාව වැඩීමක් සිදුනොවේ. ආශ්‍රව පහවීම සිදුවේ. නුවණින් විමසා පරිහරණය කොට ආශ්‍රවයන් වැඩීම වළකාලීමයි.
4.     අධි වාසනා පහාතබ්බා. ඉවසීමෙන් ප්‍රහානය කල යුතු ආශ්‍රවය. උෂ්ණ, ශීතයෙන්, මැසි මදුරුවන්ගෙන්, සතුන්ගෙන් ආදී ස්වාභාවික විපත් වලදීද නින්දා ,අපහාස ආදී අවස්ථාවන් යෙදුනු විටදීද ඉවසීම අත්‍යාවශ්‍යය.ඉවසීම උතුම්ම ශීලයයි. උදා.බුදුන් වහන්සේ වෙත පැමිණි බමුණකු උන්වහන්සේට පරිභව කළ අවස්ථාවේ උන්වහන්සේ ප්‍රකාශ කළේ තමන් වහන්සේ ඒ බැනුම් පිළිනොගත් නිසා ඔහුටම ඒවා බාර ගැනීමට සිදුවන බවය. ශ්‍රාවකයන් වූ අප සියළු අවස්ථා වල දීම තරහව, ක්‍රෝධය,අත්හැර ඉවසීමෙන් ආශ්‍රව දුරු කල යුතුය.
5.     පරිවජ්ජන පහා තබ්බා. ඇසුරු නොකිරීමෙන් තේරුම ගැනිමෙන් දුරු කළ යුතු ආශ්‍රව. ඒ කාලයේ භික්ෂූන් වහන්සේලා පයින්ම වනාන්තර මැදින් ගමන් කළහ.නපුරු සතුන්ගෙන් වන හානිය බහුල විය.ඒවායින් වැළකීමට උපක්‍රමශීලි විය යුතුය. එබඳු ස්ථාන පාරවල් මඟහැර යායුතු ය.එසේ නොකළ හොත් කරදර හිරිහැර විපත් සිදුවීම පමණක් නොව ආශ්‍රව වැඩීම සිදුවේ.අපාගත වීමට මේවා හේතුවේ. එමගින් ආශ්‍රව දුරු කළ හැක.
6.     විලෝදන  පහා තබ්බා. අවස්ථාවනට සුදුසු පරිදි නුවණින් මෙනෙහි කිරීම. සතර සතිපට්ඨානයෙන් කටයුතු කර දුරු කළ යුතු කාම විතර්ක දුරු කිරීම කළයුතුය. නැතිනම් ආශ්‍රව වර්ධනයවීමෙන් මහා විනාශයකට ගොදුරු විය හැක. ව්‍යාපාද විතර්ක ඉදිරිපත් වූ විටද  තරහව, කෝපය ආදියේ ආදීනය මෙනෙහි කොට කෝපය මැඩ පවත්වා  ආශ්‍රවයන්ගේ වැඩීම මැඩ පැවැත්විය යුතුය.විහිංසා විතර්කයේදීද මේ ආකාර  නුවණින් විමසා බලා හිංසාවෙන්, ජිවිත ඝාතනයෙන් වැළකිය යුතුය.
7.     භාවනා  පහා තබ්බා. ආශ්‍රය ධර්ම දුරු කිරීමට භාවනාව ඉතා අවශ්‍යය.අවිජ්ජාශ්‍රය දුරු කිරීම භාවනාවෙන් සිදුවන්නකි.අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමෙන් ප්‍රඥාව දියුණු වී අවිද්‍යාව නැතිවේ.භාවනාව ශෝභන චෛතසිකයකි. යහපත් සිතිවිල්ලකි.නිවන් අවබෝධ කිරීමට භාවනාව අත්‍යාවශයය.වික්ෂිප්ත සිතට යථාර්ථය දැකිය නොහැකිය. සමාධිය මෙනෙහි කිරීමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධ වීමට පහසුය. අවබෝධය විමසීම බවට පත්වීමෙන් ආශව ධර්ම නැති කළ හැකිය. සමථ විදර්ශනාවෙන් බොජ්ඣංග ධර්ම වැඩේ.නිවන් අවබෝධයට අවශ්‍ය ප්‍රඥාව දියුණු වන්නේ භාවනාව මගිනි. සති, ධම්ම විචය, විරිය, ප්‍රීති, පස්සධි, සමාධි, උපේක්ෂා යන බොජ්ඣංග ධර්ම සමථ විදර්ශනා භාවනාවන්ගෙන් වැඩීම නිසා නිර්වාණාවබෝධය ලැබිය හැකි වන්නේය.

සබ්බාසව සූත්‍රයෙන් ආකාර හතකින්  ආශ්‍රවයන්ගේ ප්‍රහාණය  කරන ආකාරය බුදුන් වහන්සේ  මෙසේ දේශනා කළ සේක. මෙම කරුණු අධ්‍යයනයෙන් ආශව ධර්ම වල වැඩීමත් ඒවායේ ප්‍රහාණයත් කෙසේවේදැයි අවබෝධ වන්නේය.ඒ ඒ අවස්ථාවන්හිදී යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කොට ආශ්‍රවයන්ගේ වැඩීමත් හානිකර විපාකයන්ගෙන් වැළකීමටත් අප පුහුණු විය යුතුය. අයෝනිසෝමනසිකාරයෙන්  කටයුතු කිරීමෙන් සිදුවන විපත් පිළිබඳ අවබෝධයෙන් තේරුම් ගැනීම අත්‍යාවශයය. එවිට එම විපත්වලින් මිදීමටත් ආශ්‍රව ධර්ම ප්‍රහාණය කොට ප්‍රධන් වීර්ය වඩා සතර සෘද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල දියුණු කිරීමෙන්  බොජ්ඣංග ධර්ම වඩා නිර්වාණාවබෝධයට පත් වීමට හැකියාව ඇත.



No comments:

Post a Comment