සිතන්නට යමක්

සිය සිත රැක ගන්න“

අප විසින් රැක ගත යුතු, සිත් පිත් ඇති නැති නොයෙක් දෑ අතර අප සිත රැක ගැනීමම ප්‍රධානය ය. සිත රැක ගන්නැයි කීම පහසුය. ඒ සිත රැක ගැනීම ඉතා අසීරුය. මුර කිරීමට අසීරුය. එතරම් සියුම් , පුදුම එළවන, විසිතුරු, දුර ගමන් යන සුළු සිත යමකු අමාරුවෙන් හෝ රැක ගතහොත් ඔහු දිනුවා වූවෙකි. කෝටියක් මිනිසුන් පරදවා ජය ගනිතත් තමන් විසින් තම සිත දිනා ගත්තේ නැතිනම් හේ පැරදුන කෙනෙකි.

Monday, October 21, 2013

ආඛඤ්කෙයිය සූත්‍රය

2011-7-18 දින බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වූ වස්සාන ධර්ම මාලාවේ ධර්ම දේශණාව ඇසුරින් සකසන ලදී
ආඛඤ්කෙයිය සූත්‍රය මඣ්ඣිම නිකායේ මූල පන්නාසකය ට ඇතුලත් සූත්‍රයකි.
 දේශකයන් වහන්සේ අති පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි.
ආඛඤ්කෙයිය යන වචනයේ තේරුම නම් “බලාපොරොත්තු වන්නේ නම් “ යන්නයි. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි මීට අදාල වන්නේ කුමන බලාපොරොත්තු පහතවේ.
1.   තමා සමග එකට සිටින බඹසරුන්ගේ සිත් ගන්නා කෙනෙකු වීමට බලාපොරොත්තු වන්නේනම් සිල් ආරක්ෂා කරන්න. එවිට අන් අය තමා කෙරෙහි මනාප වන්නේය. සිල්වත් පුද්ගලයාට පිරිසක් මැදට නොබියව යා හැක.  ඔහුට ඇති පිළිගැනීම උසස්ය. සිල්වත් අයෙකු පිරිසක් මැදට යන්නේ හීලෑ ඇතෙකු පරිද්දෙනි. දමනය වූ තැනැත්තේ කොතනත් කැපී පෙනේ. එය ශීලානිසංසයයි. අද සිදුවන්නේ මීට වෙනස් දෙයකි. එනම් මිතුරන් රුක ගැනීමට යයි කියමින් මත් ද්‍රව්‍ය ගැනීම වැනි දුසිරිතෙහි යෙදෙති. එයින් නිසැකවම සසරේ තනිවේ.
2.   කෙනෙකු සිව්පසය අනායාසයෙන් ලැබීමට බලාපොරොත්තු වන්නේනම් ශීලාදී ගුණ ධර්ම රකින්න.සිල් පුරන්න. වරක් බුදුන් වහන්සේ භික්ෂූන්ට දේශනා කරන්නේ මම සිව්පසය ගැන ඇපවෙමි. නුඹලා සිල් ආරක්ෂා කරන්න. ශික්ෂා පද රකින්නේ නම් පැවිදි අය සිව්පසයෙන් අවමයෙන් සතුටු විය වන්නේය. ගිහියා උපරිමයෙන් ලදුවත් සතුටු නොවේ. සිල් පුරන භික්ෂුවට සිවුපසය අඩු නොවේ.
3.     සිල්වත් භික්ෂුව දායකයන්ට තමා දෙන දානයෙන් මහත්ඵල මහානිසංස ලබා දෙන්නට අපේක්ෂා කරයි නම් සිල් පුරන්නෙකු විය යුතුයි. දන් දෙන්නාත් දන් ලබන්නාත් සිල්වත් විය යුතුයි. දන් ලබන්නා කර්මය කර්ම ඵල විශ්වාස කළ යුතුය. දන් දෙන්නාට ආනිශංස ලැබෙන්නේ එවිටය.
4.     ප්‍රත්‍යවේක්ෂා නොකර  දන් වැළදීම භික්ෂූන්ට අකැපය. ජීවිතය පවත්වා ගැනීමට පමණක් මේ ආහාරය  වළඳමියි සිතින් ප්‍රත්‍ය වේක්ෂා කළ යුතුය. දායකයාට මහත් ඵල මහානිශංස ලබා දීමට හෝ ඤාති ප්‍රේතාදීන්ට පින් අනුමෝදන් කිරීමට සුදුසු වන්නේද භික්ෂූන් වහන්සේ සිල් පුරන කෙනෙකු වීමය. දායකයින්ගේ අභිමතාර්ථයන් ඉෂ්ඨ කර දීමට හැකිවන්නේ තමන් නිවැරදි සිල්වත් කෙනෙකු වීමෙනි. ඤාති ප්‍රේතාදීන් ආශිර්වාද කරන්නේ එවිටය.
5.     ආරති  රති ප්‍රත්‍යකරණය. ධර්මයට ඇල්මක් ඇති කර නොගැනීම එම මාර්ගයේ ඉදිරියට යාමට බාදාවකි. ධ්‍යානාදී ධර්මයන්ට නොඇල්ම.මෙහිදී සිල්පිරුම අවශ්‍ය වේ.නැතිනම් කළකිරීම් ඇතිවේ.එය බාදාවකි.රතිය යනු ප්‍රේතයන්ට ඇතිවන කැමැත්ත.සිල්පුරන්නාට ආරතිය හා රතිය නවතී.
6.     භය භේරවයෙන් මිදීම. බියෙන් හා සන්ත්‍රාසයෙන් මිදීමට නම් නිවැරදි සීලයෙහි පිහිටිය යුතුය. ධජග්ග සූත්‍රයෙහි දේශනා වන පරිදි ශක්‍රයාගේ කොඩි දෙස බැලීමෙන් භය තැති ගැනීම දුරු නොවන බවත්, අවීතරාගී, අවීතදෝෂී, අවීතමෝහී වීමෙන් භය තැති ගැනීම නැතිවන බව බවත් බුදුන් වහන්සේ දේශනා කළහ. සිල්වත්වූ රාග දෝෂ මෝහාදී අවගුණයන්ගෙන් මිදුනු තැනැත්තාට බිය සැක  ඇති නොවේ.කරණීයමෙත්ත සූත්‍රයේ භික්ෂූන් පන්සිය දෙනා බියට පත්වූයේ ඒවන විට රහත් වී නොසිටි නිසාය. බුදුන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය උගන්වා ආපසු එම වනයටම පිටත්කලේ මෛත්‍රී භාවනාවෙන් අමනුෂ්‍යයන්ටද යහපත්වන බැවින් හා ඔවුන්ගෙන් කරදර නොවන නිසාය. රාග දෝශ මෝහ දුරු කිරීමෙන් ධර්මය කොඩියක් කර ගැනීමෙන් බිය ලොමුදැහැ ගැනීම් දුරුවේ.එවිට අමනුෂ්‍ය උපද්‍රව ඇති නොවේ.භය තැති ගැනීම දුරුකර ගැනීමට නම් බිලි පූජා වැනි තවත් කෙනෙකුට බිය වැද්දීමෙන් කළ හැකි නොවේ. තමන්ට බියක් ඇති වන්නේ නම් ආයුධ දරන්නන් රජවරුන් ආදී කොට ඇති අය විශ්වාස නොකල යුතුය. සිල්වත් කෙනෙකු ලඟට යාමට බිය විය යුතු නැත. එතැන ආරක්ෂාව ඇත. සිල්වත් තැනැත්තා ලඟට සතුන් පවා නොබියව පැමිණෙති. පාරිලෙයිය වනයේදී ඇතා හා වඳුරා බුදුන් වහන්සේට උපස්ථාන කළේය. මුචලින්ද නාගරාජයා බුදුන් වහන්සේ වැස්සෙන් ආරක්ෂා කළේය.
7.     අධ්‍යාත්මික දියුණුව ඇති කර ශ්‍රේෂ්ඨත්වයට පත් වීමට අවශ්‍ය අය සිල් පිරිය යුතුය.
8.     ධ්‍යාන ලැබීමට බලාපොරොත්තුවේ නම් 
පළමු ධ්‍යානය      -  විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යානය
             දෙවන ධ්‍යානය         -   ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත දෙවන ධ්‍යානය
          තෙවන ධ්‍යානය    -  සුඛ ඒකග්ගතා සහිත තෙවන ධ්‍යානය
            හතර වන ධ්‍යානය -  ඒකග්ගතා සහිත සමාධිය දියුණු කර ගැනීම.
        ඒ සඳහා    ශීලය වැඩිය යුතුය.
ශීල සමාධි ප්‍රඥා එකටම යයි. ශීලයෙන් සමාධියටද සමාධියෙන් ප්‍රඥාවටද යායුතුය.අරූප තලයෙහි අරූප ධ්‍යාන ලබා ගැනීමට නම් සිල් පිරිය යුතුය.සීලයෙහි පිහිටා සමාධිය වඩා ප්‍රඥාව ට යායුතුය. එකකට අනුපූරකවේ. අරූප ධ්‍යාන උපදවා ගැනීමට සිල් ආරක්ෂා කර ගත යුතුබව පැහැදිලිය.
9.     ආර්ය මාර්ගයට යාමට බලාපොරොත්තු වේ නම් සක්කාය දිට්ඨි, සීලබ්බත පරාමාස විචිකිච්චා ප්‍රහාණය කළ යුතුය.සකෘදාගාමී වන විට කාම රාග පටිඝ තුනීවේ. ඒ සඳහාද සිල් පිරීම අත්‍යාවශ්‍ය වේ. අනාගාමී වන විට කාම රාග පටිඝ ප්‍රහාණය වේ. අර්හත්  මාර්ගඵල අවබෝධවීමේදී සියළු කෙළෙසුන් ප්‍රහාණය වන්නේය. මේ සඳහා සිල් පුරමින් විදර්ශනා වඩා ආර්ය මාර්ගයට පිවිසි භික්ෂුවට අනිවාර්ය වේ.
10. දිව කන් ලැබීමට බලාපොරොත්තුවන්නේ නම් සිල් පුරන්න. පුබ්බේනිවාසානුස්සති, පරචිත්ත විජානන දිවැස් ආදී ඤාණයන් ලැබීමට සිල් පුරන්න. ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙන් යුතු විය යුතුයි. ඉන්ද්‍රිය පාරිශුද්ධ ශීලය, ආජීව පාරිශුද්ධ ශීලය, පුන්‍යසන්නශ්‍රිත ශීලය, පිරීමෙන් මේ ශ්‍රේෂ්ඨත්වයට පත්විය හැක.

යම් කිසි භික්ෂුවක් ඉහත කරුණු බලාපොරොත්තුවන්නේ නම්  ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙන් යුතු විය යුතුයි.කුඩා වරදට උවත් බිය විය යුතුයි .ඒරකපත්ත නාගරාජයා පෙර ආත්මයේ ඉතා ශිල්වත් භික්ෂුවක් වුවත් කොළයක් කැඩීම වැනි භික්ෂුවට ඇවතක් වන කුඩා වරදක් මරණ, මොහොතේ සිහිපත් වීමෙන් තිරිසන් ආත්මභාවයට පත් විය.

No comments:

Post a Comment