සිතන්නට යමක්

සිය සිත රැක ගන්න“

අප විසින් රැක ගත යුතු, සිත් පිත් ඇති නැති නොයෙක් දෑ අතර අප සිත රැක ගැනීමම ප්‍රධානය ය. සිත රැක ගන්නැයි කීම පහසුය. ඒ සිත රැක ගැනීම ඉතා අසීරුය. මුර කිරීමට අසීරුය. එතරම් සියුම් , පුදුම එළවන, විසිතුරු, දුර ගමන් යන සුළු සිත යමකු අමාරුවෙන් හෝ රැක ගතහොත් ඔහු දිනුවා වූවෙකි. කෝටියක් මිනිසුන් පරදවා ජය ගනිතත් තමන් විසින් තම සිත දිනා ගත්තේ නැතිනම් හේ පැරදුන කෙනෙකි.

Wednesday, October 16, 2013

2011-7-19 දින බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වූ වස්සාන ධර්ම මාලාවේ ධර්ම දේශණාව ඇසුරින් සකසන ලදී
අනංගන සූත්‍රය
දේශකයන් වහන්සේ පූජ්‍ය පාද වැල්ලම්පිටියේ විනයවංශ  හිමි.
අනංගන සූත්‍රය බුදුන් වහන්සේ විසින් දේශනා  කළ සූත්‍රයක් නොවේ. ශ්‍රාවකයන් වහන්සේලාගේ දේශනාද බුදු මුඛයෙන් අනුමත කිරීමෙන් පසු බුද්ධ දේශනාවක් වශයෙන් පිළිගැනේ.
මෙම අනංගන දේශනාව සිදු කරන ලද්දේ සැරියුත් මහ රහතන් වහන්සේ විසිනි. අංගන යනු කෙළෙස් වලට නමකි. අනංගන යනු කෙළෙස් රහිත යන්නයි. මෙම සූත්‍රය ජේතවනාරාමයේ දී භික්ෂූන් සමූහයක් අරඹයා දේශනා කරන ලද්දකි. මේ සූත්‍රයේ ලෝකයේ පුද්ගලයින් හතර වර්ගයක් හඳුන්වා දෙයි.

පළමු පුද්ගලයා     - ඔහු තුල කෙළෙස් ධර්ම සහිතයි. ඒ බව නොදනී. (පුද්ගලයා හීනය)
දෙවන පුද්ගලයා  - ඔහු තුල කෙළෙස් ධර්ම සහිතයි. ඒ බව දනී. (පුද්ගලයා ශ්‍රේෂ්ඨය)
තෙවන පුද්ගලයා  - ඔහු තුල කෙළෙස් ධර්ම රහිතයි. ඒ බව නොදනී. (පුද්ගලයා හීනය)
සතර වන පුද්ගලයා - ඔහු තුල කෙළෙස් ධර්ම රහිතයි. ඒ බව දනී. (පුද්ගලයා ශ්‍රේෂ්ඨය)

අප තුළ ඇති දුර්වලතා හඳුනා ගෙන එම දුර්වලතා මඟ හැර ගැනීමට මෙම සූත්‍රය ඉවහල් වේ. තමා තුළ කෙළෙස් නැති නම් ඒ බවද තමා දැන සිටිය යුතුය. තමා තුළ කෙළෙස් ඇති නැතිබව දැන ගැනීම ඉතා වටනේය.නොඑසේ නම් ඇති කෙළෙස් නැති කර ගැනීමට හෝ නැති කෙළෙස් ගැන නොදැනීමෙන් කෙළෙස් ඉපදීමට හෝ හේතුවන්නේය. මෙහි කෙළෙස් නැති යනුවෙන් අදහස් කළේ කෙළෙස් යට පත්වූ තැනැත්තාය.මේ අයගෙන් පළමු පුද්ගලයා  හා තෙවන පුද්ගලයා තමන් තුල කෙළෙස් ඇති බව නොදනී එය දුර්වල කමකි.ඔවුන් දෙදෙනාම හීන පුද්ගලයන්ය.   කෙළෙස් ඇති බව දන්නා විට ඒවා නැති කර ගැනීමට උත්සාහ ගනී. කෙළෙස් නැති යනු යටපත් වූ කෙළෙස් ඇති තැනැත්තා ඒ බව දැන ගැනීම නිසා කෙළෙස් නූපදවීමට උත්සාහ ගනී. මේ නිසා   කෙළෙස් නැති බව දන්නා හා කෙළෙස් ඇති බව දන්නා පුද්ගලයා ශ්‍රේෂ්ඨය. සැරියුත් හිමියන් මේ දේශණාව කරන විට මුගලන් හිමියන් ප්‍රශ්ණයක් මතු කළේය.එනම් පුද්ගලයන් අතුරින් පළමු වන දෙදෙනා කෙළෙස් සහිතය කෙනෙක් ඒ බව නොදනී. අනෙකා නොදනී. නමුත් දෙදෙනාම ශ්‍රේෂ්ඨය.ඒ කෙසේදැයි විමසීය.
එය පැහැදිලි කරමින් යම් කෙනෙක් තමාගේ අධ්‍යාත්මය තුල ඇති දුර්වලතා දනීද ඔහු ඒ දුර්වලතා මඟ හැරගැනීමට උත්සාහ ගනී.ඒ බව නොදන්නා පුද්ගලයාට තමාගේ දුර්වලතා මඟ හැරගැනීමට නොදන්නා කම නිසා නොලැබේ.රාග, ද්වේශ, මෝහ යන කෙළෙස් තිබෙන බව දැන ගැනීම යහපත්ය.එවිට ඒ කෙළෙසුන් ගෙන් මිඳීමට උත්සාහ ගනු ඇත.
කෙළෙස් ඇති බව නොදන්නාවිට තවත් ඉදිරියට කෙළෙස් දියුණුවීමෙන් අප්‍රමාන අකුසල කර්ම රැස් කර මරණයට පත් වන්නේ සතර අපාගාමීවය. කෙළෙස් ඇති බව නොදන්නාවිට නැති කෙළෙස්ද උපදින්නට පුළුවන.කෙළෙස් නැති විට ඒ බව දැන ගැනීම වැදගත්ය. මේ බව අවබෝධ කර නොගැනීම නිසා  මරණයට පත් වන්නේ රාග, දෝශ, මෝහ සහිතවය.මේ නිසා දුගතිවල ඉපදීමට ඉඩ ඇත. මින් අදහස් වන්නේ තදංග වශයෙන් හා වික්ඛම්භන වශයෙන් කෙළෙස් යටපත්වූ අයයි. මේ පුද්ගලයා රාග, දෝශ, මෝහ කෙළෙස් අඩු කෙළෙස් යටපත්වූ පුද්ගලයෝය. භාවනා ධ්‍යාන උපදවාගත් උදවියද කෙළෙස් යටපත්වූ පුද්ගලයෝය. සෝවාන් ආදී මාර්ගඵල වලට පත්වූ උත්තමයන් මෙහිදී අදහස් නොකෙරේ.
හතරවන පුද්ගලයා තුල කෙළෙස් නැත. ඒ බව දන්නා ඔහු කෙළෙස් තව දුරටත් දුරු කර ගැනීමට උත්සාහ ගනී. රාග, ද්වේශ, මෝහ තමා තුළ නැති බවට අවබෝධය ඇති නිසා ඒවා නැති කිරීමට දිගින් දිගට උත්සාහ ගැනීම නිසා කෙළෙස් ප්‍රහාණය කිරීමට හැකියාව ලැබේ. කෙළෙස් ප්‍රහාණයේදී තුන් ආකාරයකින් එය සිදුවන්නේය. තදංග වශයෙන්, වික්ඛම්භන වශයෙන් හා සමුච්ඡේද වශයෙන් කෙළෙස් දුරු කිරීම සිදුවේ.මේ තුන් ආකාරයට අවස්ථා කිහිපයකදී ක්‍රම ක්‍රමයෙන් කෙළෙස් ප්‍රහාණය වේ. යටපත් කළ කෙළෙස් නැවත මතු වුවද සමුච්ඡේද වශයෙන් කෙළෙස් ප්‍රහාණය වන්නේ රහත්ඵලයට පත්වූ විටය. එවිට කිසිදා  යළි කෙළෙස් මතු වන්නේ නැත. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී මාර්ග ඵලයන්ට පත් වූවන් තමන් ප්‍රහාණය කළ කෙළෙස් ගැන දනී.ඉතිරිව ඇති  කෙළෙස් ගැනද දනී.ඔවුන් නැවත ප්‍රහාණය වූ කෙළෙස් මතු නොවීමට වග බලා ගනී.මේ අවස්ථා පසු කිරීමෙන් අර්හත්වයට පත්වූ උතුමෝ සියළු කෙළෙසුන් නැසූ බව දනී. එවැනි උතුමන් වහන්සේලා තුල කිසිදා කෙළෙස් හට නොගනී.සැරියුත් හිමියෝ මේ ආකාරයෙන් පුද්ගලයෝ හතර දෙනා විස්තර කොට උපමාවකින් එය ගෙන හැර දැක්වූ සේක.
1.     යම් කිසිවෙක් වෙළඳ සැලකින් බඳුනක් ගෙනෙයි. ඔහු එය පාවිච්චි නොකරයි. පිරිසිදු නොකරයි. කෙළෙස් ඇති ඒ බව නොදන්නා පුද්ගලයා එබඳුය. බඳුන අපිරිසිදුව විනාශ වන්නාසේ ඔහුද විනාශවේ.
2.     මෙම බඳුන පාවිච්චි කරයි නම් හා පිරිසිදු කරයි නම් භාජනය පිරිසිදුවට පවතී. කෙළෙස් ඇති ඒ බව දන්නා පුද්ගලයා එබඳුය.
3.     අළුත් වුවත් භාජනය අපිරිසිදු වන බව නොදන්නා පුද්ගලයා එය පිරිසිදු නොකොට පසෙකින් තබයි. කල් යාමේදී භාජනය අපිරිසිදුවේ මළ බැඳී විනාශවේ. කෙළෙස් රහිත ඒ බව නොදන්නා පුද්ගලයා එබඳුය.
4.     තමා ගෙන ආ බඳුන පිරිසිදු බව දනී. ඔහු එය තවදුරටත් පිරිසිදු කරමින් පරිහරණය කරයි.බඳුන නිරතුරුව පිරිසිදුව පවතී.කෙළෙස් නැති ඒ බව දන්නා පුද්ගලයාද මෙබඳුය.
 මේ අනංගන සූත්‍රයෙන් දේශනාවන පරිදි කෙනෙකු තුළ රාග, ද්වේශ, මෝහ ආදී කෙළෙස් ඇති බව හෝ නැති බව දැන ගැනීම ඉතා වටනේය.කෙළෙස් ඇති බව දන්නා තැනැත්තා ඇති කෙළෙස් නැති කර ගැනීමට උත්සාහ ගනී.ඔහු කවදා හෝ පෙර කියන ලද තුන් ආකාරයෙන් කෙළෙසුන් නසා අර්හත්වයට පත්වනු ඇත.
කෙළෙස් නැති බව දන්නා පුද්ගලයා තමා තුල යටපත් වී ඇති කෙළෙස් නැවත මතු නොවීමට වග බලා ගැනීමෙන් කෙළෙස් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කොට අර්හත්වයට පත්වන්නේය.

කෙළෙස් ඇති බව හෝ නැති බව නොදන්නා පුද්ගලයා ඒ පිළිබඳව අවධානයක් උත්සාහයක් නොමැති නිසා රාග, ද්වේශ, මෝහ ආදී කෙළෙස් වර්ධනය වී කෙළෙස් ඇතියකු වශයෙන් මරණයට පත්වේ.ඔහුගේ සසර ගමන අති දීර්ඝය.හීන පහත් පුද්ගලයෙකු වශයෙන් ප්‍රකාශ කරන ලද්දේ එහෙයිනි.

No comments:

Post a Comment