සිතන්නට යමක්

සිය සිත රැක ගන්න“

අප විසින් රැක ගත යුතු, සිත් පිත් ඇති නැති නොයෙක් දෑ අතර අප සිත රැක ගැනීමම ප්‍රධානය ය. සිත රැක ගන්නැයි කීම පහසුය. ඒ සිත රැක ගැනීම ඉතා අසීරුය. මුර කිරීමට අසීරුය. එතරම් සියුම් , පුදුම එළවන, විසිතුරු, දුර ගමන් යන සුළු සිත යමකු අමාරුවෙන් හෝ රැක ගතහොත් ඔහු දිනුවා වූවෙකි. කෝටියක් මිනිසුන් පරදවා ජය ගනිතත් තමන් විසින් තම සිත දිනා ගත්තේ නැතිනම් හේ පැරදුන කෙනෙකි.

Tuesday, January 7, 2014

දුරුතු පසළොස්වක පොහොය
  • බිමිබිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනයකදී බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.
  •  සිරිපා සමය ඇරැඹුණේ පසුගිය උඳුවප් පුර පසළොස්වක පෝය දිනයේ ය.
  • ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූයේ දුරුතු පුර පසලොස්වක් පොහෝ දිනකදීයි .සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කරන ලදී. නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බවත් ශාසන ඉතිහාසයේ  සඳහන්ය. එහෙයින් මහියංගණ සෑය අද ද බෞද්ධයින්ගේ මහත් ගෞරවාදරයට පත් වූ ස්ථූපයකි.
ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වූ සමයෙහි අප රටේ වාසය කළේ යක්ෂ, නාග, දේව ගෝත්‍රිකයන් ය. ඌව පළාතේ පිහිටි මහියංගණය අවට යක්ෂ ගෝත්‍රිකයන්ද, කැලණි ගඟ ආශි‍්‍රතව නාග ගෝත්‍රිකයන්ද, කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රිකයන්ද විසූ බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙයි. එසමයෙහි මහියංගණයේ වාසය කළ යක්ෂ ගෝත්‍රිකයන් පිරිසක් මිනිබේ (අදමිනිපේ) ජනපදයේ මහානාග නම් වූ උයනට රැස්ව දෙපිරිසකට බෙදී මහා සටනකට සැරැසුණු අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එය නුවණින් දැක සිදුවන්නට යන මහා ජීවිත විනාශය වළකනු වස් ඍද්ධියෙන් ඒ ස්ථානයට වැඩම කළ සේක. ඒ වන විට උන්වහන්සේ වැඩ සිටියේ දඹදිව උරුවෙල්දනව්වේය. එදා බුද්ධත්වයෙන් නව වන මස එළැඹි දුරුතු පසළොස්වක පෝය උදාවී තිබිණි.
අහසෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ පත්කඩය එළා බිම වාඩිවීමට යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් අවසර ඉල්ලී ය. ඔවුන්ගේ අවසරය මත පත්කඩය එළා වාඩි වී ඍද්ධි ප්‍රාතිහාර්ය පෑ සේක. බියට පත් එම යුද්ධාභිමුඛ මහ දෙපිරිස ඈතට පලා ගිය හ. යුද්ධය නවතා සන්සුන් වූ පිරිසට බුදුහිමියෝ දහම් දෙසූහ. අද අපට දක්නට ලැබෙන මහියංගණ මහ සෑය පිහිටුවා ඇත්තේ එම ස්ථානයේ යැයි එදා සිට ප්‍රචලිතය. මෙම අවස්ථාවේ ධර්ම ශ්‍රවණයට සුමන සමන් දිව්‍ය රාජයා ප්‍රධාන දිව්‍ය සමූහයාද රැස්ව සිටියහ. දහම් අසා සෝවාන් ඵලයට සපැමිණි සුමන සමන් දිව්‍ය රාජයා වැඳුම් පිදුම් කරන්නට බුදුහිමිගෙන් පූජනීය වස්තුවක් ඉල්ලා සිටියේය. බුදුහිමියෝ හිස පිරි මැද කේශ ධාතු මිටක් සුමන සමන් දිව්‍ය රාජයන් අත තැබූහ. ඔහු එය රන් කරඬුවක බහා එතැන සත් රියන් උස ඉඳුනිල් මිණි වෙහෙරක් ඉදි කළ බව පැවැසේ. බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ පසු ඉදිකළ ප්‍රථම ස්තූපය වන්නේ මහියංගණ මහා සෑයයි. අද එය පඨමක චෛත්‍ය මියුගුණ සෑය, මහියංගණ මහා සෑය යන නම් වලින් හැඳින්වෙයි.
මියුගුණ සෑයේ නිදන් වස්තු සම්බන්ධයෙන් තවත් විස්තරයක් අන් තැනෙක සඳහන්වේ. එනම් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු පැවැති ආදාහනෝත්සවයේ දී බුදු සිරුර දැවෙමින් තිබිය දී සැරියුත් මහ තෙරුන්ගේ ශිෂ්‍යයෙකු වූ සරභු මහ තෙරුන් වහන්සේ ලබාගත් ගී‍්‍රවා ධාතුව (ගෙල පෙදෙසින්) මහියංගණ සෑයේ නිදන් කළ බව ය. ඒ අනුව මහියංගණ සෑයේ කේශ ධාතු හා ගී‍්‍රවා ධාතු වහන්සේ යන දෙනමම වැඩ සිටීම විශේෂ කරුණක් වශයෙන් ගැනේ. ඒ වන විට මෙම සෑය දොළොස් රියන් උස මේඝ වර්ණයෙන් ඉදිකළ බව කියැවේ.
කාලයක් තිස්සේ නිහඬ බවේ සිටි මියු ගුණ සෑ රද පිළිබඳව යළිත් කියැවෙන්නේ දෙවන පෑ තිස් නරනිඳු සමයේ ය. එනම් ක්‍රිස්තු පූර්ව තුන්වන සිය වසැ දී පමණ මෙම සෑය තිස් රියන් උසට ඉදිකරන ලදී. ඒ පෑතිස් නිරිඳුන්ගේ මලණුවන් වූ ශුද්ධ චූලාභය කුමරුන් විසිනි. අනතුරුව දුටුගැමුණු මහ රජතුමා අසූරියන් උසට මෙම සෑය ඉදි කළේ ය. එසමයෙහි එළාර නම් ද්‍රවිඩ රජතුමාගේ යුද බලකොටුවක් මෙහි විය. දුටුගැමුණු රජු එය වනසා දමා මෙම පෙදෙස සිය බලයට නතු කැර ගත්තේ ය. දමිළ බලය පරදා ලද මෙම ජයග්‍රහණය ගැමුණු රජුගේ යුද සටන්වල මූලාරම්භය ද වේ. මෙලෙසට සෑ රජුට ගෞරවය පුද කළේ එම ජයග්‍රහණය නිමිති කැරගෙනය.
තවත් වැදගත් ඓතිහාසික කරුණකට මෙම පෙදෙස මූලාශ්‍රය වෙයි. එනම්, සිරිසඟ බෝ කුමරු නන්ද තෙරුන් යටතේ හැදී වැඩුණේ ද මෙම පින් බිමේ ය. තවද මානවම්ම කුමරු, දෙවැනි සේන, හතරවැනි කාශ්‍යප යන නම් දරන රජවරු මෙම පූජා භූමියේ දියුණුවට කටයුතු කළහ. පොළොන්නරු රාජ්‍ය සමයේ දී පළමුවැනි විජයබාහු රජතුමා මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකැර තිබේ. කෝට්ටේ යුගයේ දී හය වන පැරකුම්බා රජ මෙම දාගැබ යළි ප්‍රතිසංස්කරණය කළ බව සඳහන් ය. මහනුවර යුගය වන විට වීර වික්‍රම ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, විජය රාජසිංහ , කීර්ති ශ්‍රී රාජසිංහ යන නරපතියන් මෙම දාගැබ විවිධ පුද පූජාවන්ට හා දියුණුවට බඳුන් කළහ.

විදේශීය ආක්‍රමණ අබියස මෙම පින්බිම විටින් විට වන ගත විය. එහෙත් සෑ රජුගේ වර්තමාන පුනර්ජීවයට අඩිතාලම වැටුණේ 1953 වර්ෂයේ දීය. එම වර්ෂයේදී එහි ප්‍රතිසංස්කරණයට මුල්ගල තැබිණි. නැවැත 1955 වර්ෂයේ දී ධාතු නිදානෝත්සවය, 1956 හතරැස් කොටුවේ ධාතු නිදානෝත්සවය, 1961 දී කොත් කැරැල්ල මුදුණේ චූඩා මාණික්‍ය පැළැඳවීම ආදි පිළිසකර කටයුතු සිදුවීමත් සමඟ ඉතා වටිනා ඓතිහාසික පුද බිමක සිරියෙන් විරාජමාන වන්නට යෙදුණේ ය. 
අන්තර් ජාල තොරතුරු ඇසුරින්

No comments:

Post a Comment