සදහම් මඟ
සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානසාසනං
සිතන්නට යමක්
“සිය සිත රැක ගන්න“
අප විසින් රැක ගත යුතු, සිත් පිත් ඇති නැති නොයෙක් දෑ අතර අප සිත රැක ගැනීමම ප්‍රධානය ය. සිත රැක ගන්නැයි කීම පහසුය. ඒ සිත රැක ගැනීම ඉතා අසීරුය. මුර කිරීමට අසීරුය. එතරම් සියුම් , පුදුම එළවන, විසිතුරු, දුර ගමන් යන සුළු සිත යමකු අමාරුවෙන් හෝ රැක ගතහොත් ඔහු දිනුවා වූවෙකි. කෝටියක් මිනිසුන් පරදවා ජය ගනිතත් තමන් විසින් තම සිත දිනා ගත්තේ නැතිනම් හේ පැරදුන කෙනෙකි.
Sunday, February 24, 2019
Tuesday, January 7, 2014
දුරුතු පසළොස්වක පොහොය
- බිමිබිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනයකදී බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.
- සිරිපා සමය ඇරැඹුණේ පසුගිය උඳුවප් පුර පසළොස්වක පෝය දිනයේ ය.
- ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූයේ දුරුතු පුර පසලොස්වක් පොහෝ දිනකදීයි .සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කරන ලදී. නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බවත් ශාසන ඉතිහාසයේ සඳහන්ය. එහෙයින් මහියංගණ සෑය අද ද බෞද්ධයින්ගේ මහත් ගෞරවාදරයට පත් වූ ස්ථූපයකි.
අහසෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ පත්කඩය
එළා බිම වාඩිවීමට යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් අවසර ඉල්ලී ය. ඔවුන්ගේ අවසරය
මත පත්කඩය එළා වාඩි වී ඍද්ධි ප්‍රාතිහාර්ය පෑ සේක. බියට පත් එම යුද්ධාභිමුඛ
මහ දෙපිරිස ඈතට පලා ගිය හ. යුද්ධය නවතා සන්සුන් වූ පිරිසට බුදුහිමියෝ
දහම් දෙසූහ. අද අපට දක්නට ලැබෙන මහියංගණ මහ සෑය පිහිටුවා ඇත්තේ එම ස්ථානයේ
යැයි එදා සිට ප්‍රචලිතය. මෙම අවස්ථාවේ ධර්ම ශ්‍රවණයට සුමන සමන් දිව්‍ය රාජයා
ප්‍රධාන දිව්‍ය සමූහයාද රැස්ව සිටියහ. දහම් අසා සෝවාන් ඵලයට සපැමිණි සුමන
සමන් දිව්‍ය රාජයා වැඳුම් පිදුම් කරන්නට බුදුහිමිගෙන් පූජනීය වස්තුවක් ඉල්ලා
සිටියේය. බුදුහිමියෝ හිස පිරි මැද කේශ ධාතු මිටක් සුමන සමන් දිව්‍ය රාජයන්
අත තැබූහ. ඔහු එය රන් කරඬුවක බහා එතැන සත් රියන් උස ඉඳුනිල් මිණි වෙහෙරක්
ඉදි කළ බව පැවැසේ. බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ පසු ඉදිකළ ප්‍රථම
ස්තූපය වන්නේ මහියංගණ මහා සෑයයි. අද එය පඨමක චෛත්‍ය මියුගුණ සෑය, මහියංගණ මහා
සෑය යන නම් වලින් හැඳින්වෙයි.
මියුගුණ සෑයේ නිදන් වස්තු සම්බන්ධයෙන්
තවත් විස්තරයක් අන් තැනෙක සඳහන්වේ. එනම් සම්බුද්ධ පරිනිර්වාණයෙන්
පසු පැවැති ආදාහනෝත්සවයේ දී බුදු සිරුර දැවෙමින් තිබිය දී සැරියුත් මහ
තෙරුන්ගේ ශිෂ්‍යයෙකු වූ සරභු මහ තෙරුන් වහන්සේ ලබාගත් ගී‍්‍රවා ධාතුව (ගෙල
පෙදෙසින්) මහියංගණ සෑයේ නිදන් කළ බව ය. ඒ අනුව මහියංගණ සෑයේ කේශ ධාතු හා ගී‍්‍රවා
ධාතු වහන්සේ යන දෙනමම වැඩ සිටීම විශේෂ කරුණක් වශයෙන් ගැනේ. ඒ වන විට
මෙම සෑය දොළොස් රියන් උස මේඝ වර්ණයෙන් ඉදිකළ බව කියැවේ.
කාලයක් තිස්සේ නිහඬ බවේ සිටි මියු ගුණ සෑ රද
පිළිබඳව යළිත් කියැවෙන්නේ දෙවන පෑ තිස් නරනිඳු සමයේ ය. එනම් ක්‍රිස්තු
පූර්ව තුන්වන සිය වසැ දී පමණ මෙම සෑය තිස් රියන් උසට ඉදිකරන ලදී. ඒ පෑතිස්
නිරිඳුන්ගේ මලණුවන් වූ ශුද්ධ චූලාභය කුමරුන් විසිනි. අනතුරුව දුටුගැමුණු මහ
රජතුමා අසූරියන් උසට මෙම සෑය ඉදි කළේ ය. එසමයෙහි එළාර නම් ද්‍රවිඩ
රජතුමාගේ යුද බලකොටුවක් මෙහි විය. දුටුගැමුණු රජු එය වනසා දමා මෙම පෙදෙස සිය බලයට
නතු කැර ගත්තේ ය. දමිළ බලය පරදා ලද මෙම ජයග්‍රහණය ගැමුණු රජුගේ යුද
සටන්වල මූලාරම්භය ද වේ. මෙලෙසට සෑ රජුට ගෞරවය පුද කළේ එම ජයග්‍රහණය
නිමිති කැරගෙනය.
තවත් වැදගත් ඓතිහාසික කරුණකට මෙම පෙදෙස මූලාශ්‍රය
වෙයි. එනම්, සිරිසඟ බෝ කුමරු නන්ද තෙරුන් යටතේ හැදී වැඩුණේ ද මෙම
පින් බිමේ ය. තවද මානවම්ම කුමරු, දෙවැනි සේන, හතරවැනි කාශ්‍යප යන නම් දරන
රජවරු මෙම පූජා භූමියේ දියුණුවට කටයුතු කළහ. පොළොන්නරු රාජ්‍ය සමයේ දී
පළමුවැනි විජයබාහු රජතුමා මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකැර තිබේ. කෝට්ටේ යුගයේ
දී හය වන පැරකුම්බා රජ මෙම දාගැබ යළි ප්‍රතිසංස්කරණය කළ බව සඳහන් ය. මහනුවර
යුගය වන විට වීර වික්‍රම ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, විජය රාජසිංහ , කීර්ති ශ්‍රී
රාජසිංහ යන නරපතියන් මෙම දාගැබ විවිධ පුද
පූජාවන්ට හා දියුණුවට බඳුන් කළහ.
විදේශීය ආක්‍රමණ අබියස මෙම පින්බිම විටින්
විට වන ගත විය. එහෙත් සෑ රජුගේ වර්තමාන පුනර්ජීවයට අඩිතාලම වැටුණේ 1953 වර්ෂයේ දීය.
එම වර්ෂයේදී එහි ප්‍රතිසංස්කරණයට මුල්ගල තැබිණි. නැවැත 1955 වර්ෂයේ දී ධාතු
නිදානෝත්සවය, 1956 හතරැස් කොටුවේ ධාතු නිදානෝත්සවය, 1961 දී කොත්
කැරැල්ල මුදුණේ චූඩා මාණික්‍ය පැළැඳවීම ආදි පිළිසකර කටයුතු
සිදුවීමත් සමඟ ඉතා වටිනා ඓතිහාසික පුද බිමක සිරියෙන් විරාජමාන වන්නට
යෙදුණේ ය.
අන්තර් ජාල තොරතුරු ඇසුරින්
අන්තර් ජාල තොරතුරු ඇසුරින්
Friday, November 29, 2013
2011-7-26 දින බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වූ වස්සාන ධර්ම දේශනා මාලාවේ ධර්ම දේශණාව
ඇසුරින් සකසන ලදී
විශාල ඇතෙකුගේ
පාදයක් උපමාවට ගෙන සැරියුත් මහ රහතන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍රයකි. ඇවැත්නි
මේ පොළොවේ හැසිරෙන සියළුම සතුන්ගේ පාද හස්තියාගේ පාද සටහන තුළ තැබිය හැකිය ඒවගේ මේ
බුදු දහමේ චතුරාර්ය සත්‍ය තුළ සියළු ධර්මයන් අඩංගුවේ. කුමක්ද මේ චතුරාර්ය සත්‍ය දුක්ඛ
සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය හා මාර්ග
සත්‍ය වේ.
දුක්ඛ සත්‍ය
යනු
ජාති, ජරා, ව්‍යාධි,
මරණ,ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස කෙටියෙන් කියන්නේ නම් පංච උපාධානස්කන්ධයම දුකය
කුමක්ද මේ පංච උපාධානස්කන්ධය
පංච උපාධානස්කන්ධය යනු රූප වේදනා සංඥා සංඛාර
විඤ්ඤාන යන පහයි. රූප ස්කන්ධය සෑදෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූතයන්ගෙන්
උපාධානය වීමෙනි.
කුමක් ද මේ පඨවි ධාතුව තද බව පෘථිවිය ගොරෝසු
බව බර ගතිය මෘදු ගතිය ආදී ගති ඒවායේ ඇත.බාහිරින් තිබුනද අභ්‍යන්තරව තිබුනද මේ
සියල්ල එකම පඨවි ධාතුවකි.
එබැවින් පඨවි ධාතුව මගේ යයි ගන්නේ කෙසේද අභ්‍යන්තර
බාහිර වශයෙන් ඇත්තේ එකම පඨවි ධාතුවයි. එසේ නම් මගේ යයි ගන්නේ කෙසේද? කෙස් ගත්තොත්
මගේ කියා කීවද කලකදී සුදු පැහැවේ. දත් දිරා යයි. අනිත්‍ය ස්වභාවයක් ඇත. අනිත්‍ය වූ
දෙය දුක ගෙනදේ. මට පාලනය කල නොහැක. ඒ නිසා අනාත්මවේ.බාහිර ඇති පඨවි ධාතුවද කලකදී ස්වාභාවිකවම
විනාශ වී යයි. පඨවි ධාතුව තන්හාව නිසා මම මගේ යැයි අල්ලා ගත්තද එය එසේ විය නොහැක.
කවුරු හෝ කාට හෝ බනිනවා යැයි සිතමු එවිට ශබ්දය කනට ඇසේ . ශෝකයක් ඇතිවේ. එම දැනීමට
ශෝක විඤ්ඤාය යැයි කියමු. ශෝක සම්පස්සය
ඇතිවේ.වේදනාව ඇතිවූයේ ස්පර්ශයෙනි. ශරීරයේ ඇති පඨවි ධාතුව අනිත්‍ය නම් මට බනිනවා
යැයි කියන්නේ කෙසේද? මම කියා කෙනෙක් නැත.
දිනක් සැරියුත් හිමියන්ට භික්ෂුවක් දෝෂාරෝපනය
කළ විට සැරියුත් හිමියන් කළ සීහ නාදය උදාහරණයට ගත හැකිය. මම මහ පොළොව වගේ මම කායගතාසතිය
වඩන්නෙකි. මම ජලය වගේය. ජලයට මිනිසුන්
නොදමන දෙයක් නැත. ස්වාමීනී මම ගින්න වගේය.ගින්න හොඳ නරක සියළුදේ දවයි. ස්වාමීනී මම
සුළග වගේ.සුළගින් සියල්ල ගසා ගෙන යයි.මමද එසේම ය.මෙසේ සතර මහ ධාතු ගැන ප්‍රකාශයක්
කරයි.
ආපෝ ධාතුව වැගිරෙන සුළු බවය
ශරීරයේ ඇති පිත, සෙම, සැරව, ලේ, දහදිය,
තෙල්, කඳුළු, වුරුණුතෙල්,කෙළ,සොටු,සඳ මිදුළු,මුත්‍රා ආදී වැගිරෙන සුළුදේ ආපෝ
ධාතුවයි.ශරීරයේ ඇති ආපෝධාතුවත් බාහිර ඇති ආපෝ ධාතුවත් දෙකම එකය.අප කරන්නේ පිට ඇති
ආපෝ ධාතුව ඇතුලට ගැනීමත් ඇතුළත ආපෝ ධාතුව පිටතට යැවීමත්ය. එසේ කොට ශරීරයේ ඇති ආපෝ
ධාතුව මගේ යයි. ගන්නේ කෙසේද? මේ ආපෝ ධාතුව විනාශයට යයි. නැතිවී යයි. කිපෙන අවස්ථාද
ඇත.බාහිර වශයෙන් ගංවතුර ආදී අවස්ථා ගත හැක.සිඳී යන අවස්ථාද ඇත. ලෝක විනාශයේදී සාගර
සියල්ල සිඳී යයි.එයින් පෙනෙන්නේ ආපෝ ධාතුවේ අනිත්‍ය බවයි. එසේ නම් එය මගේ වන්නේ
කෙසේද? මට අයත් නැති ශරීරයේ ඇති මේ ආපෝ ධාතුව විනාශ වීම නොනැවැත්විය හැකිය. අප බොන
වතුර තව ටිකකින් පිට වී යයි.ධාතු මනසිකාරයෙන් සිටින්නේ නම් ඕනෑම වේදනාවක් දුකක්
ඉවසා දරා ගැනීමට හැකියාව ඇත. ධාතූන් පිළිබඳ සම්‍යක් ප්‍රඥාවෙන් බලන කල්හි අපට මේ පිළිබඳ මනාව
වැටහෙනු ඇත.
තේජෝ ධාතුව ලෙස ශරීරයේ උෂ්නත්වය ආකාර හතරකින් ඇත. ශරීරය පුරා ඇති රස්නෙ ගතිය, කන බොන ආහාර දිරවන ස්වභාවය, ශරීරයේ ඇති දිරවන ස්වභාවය හා ශරීරයේ ඇති දිරා යන ස්වභාවය මේ හතරයි.මේ තේජෝ ධාතුවම බාහිරවද ඇත්තේය. බාහිර තේජෝ ස්වභාවය නොයෙක් හේතු නිසා භයානක ආකාරයෙන් උත්සන්න වී පොලොවද දවාලයි.ශරීරයේ තේජෝ ධාතුවද යම් යම් වෙනස්වීම් වලට ලක්වේ. උණ රෝගය එවැනි අවස්ථාවකි.අප මරණයේදී තේජෝ ධාතුව ශරීරයෙන් පිටවී යයි.බාහිර තේජෝ ධාතුව අපට පෙනි පෙනී වෙනස් වේ.අභ්‍යන්තර තේජෝ ධාතුව මේ නිසාම මගේ යයි කියා ගත නොහැක.
වායෝ ධාතුව හුස්ම රැල්ලේ ඇත.ශරීරයේ ආකාර හයකින් පවතී.
- උඩට එන වාතය -උද්දංගම වාතය
- පිටුපසින් යන වාතය -අධෝගම වාතය
- බඩේ තිබෙන වාතය - කුක්කුෂය වාතය.
- ඇඟ පුරා දිවෙන වාතය - අංගමංගානුසාරී වාතය
- ආශ්වාස ප්‍රාශ්වාස වාතය
- බඩවැල් තුළ දිවෙන වාතය
ශරීරයේ පිටතද වායෝ ධාතුව පිරී පවතී.අප ශරීරයට ගන්නේ පිට ඇති වායෝ ධාතුවයි.එය මගේය කියා වෙන් කර ගත නොහැකිය.හුස්ම රැල්ල ගන්නා සමඟම පිට කළ යුතුය.මට රඳවා ගත නොහැකිය.ධාතු මනසිකාරයෙන් අප සිතීමට පුරුදු වූ විට මේවායේ අනිත්‍යතාවය වැටහී යයි.මගේය කියා ගත නොහැකි බව වැටහි යයි.ධාතු මනසිකාරයෙන් භාවනා කරන විය උපේක්ෂාවෙන් ගැනීමට පුරුදු විය යුතුය .සිත කලබල කර ගැනීම කම්පා කර ගැනීම නොකල යුත්තකි.එවිට ඕනෑම අපහාසයක් උපහාසයක් වේදනාවක් ඉවසාගත හැකිවේ.ශරීරය ගෙයක් වැනිය.ගෙයි ගඩොල් සිමෙන්ති වැලි මැටි උළු ආදිය ඇත.රූපයද සකස් වන්නේ මෙසේ කොටස් කීපයකිනි. ආයතන හයක් එකතු වීමෙන් සත්වයා පුද්ගලයා නිර්මාණය වෙයි. ඇස රූපය හා චක්ෂු විඤ්ඤානය එකතු වීමෙන් ස්පර්ශය ඇතිවේ.ස්පර්ශයෙන් එහාට නොගොස් එනම් සංඥාවට වේදනාවට නොයා එතැනින් නතර කර ගත හොත් වේදනාව නිසා ඇතිවන සුඛය නිසා ඇති වන භවය සිදු නොවේ.එවිට ජාතිය ජරාව මරණය ආදී දුක් ඇති නොවේ.
Tuesday, November 26, 2013
දෙව්රම් වෙහෙරේ...
දෙව්රම් වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ
මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා
මම එමි බවදුරු කතර ගෙවා
සහසක් දොම්නස් දුක් ගිනි අතරේ
දැවෙන මහද සිතිවිලි ගිණි අදුරේ
සමිද ඔබේ පිළිරුව දුටු පමණින්
නිවී නිවී යන අරුමය කිමදෝ....
දෙව්රම් වෙහෙරේ...//
ජීවමානවම හිමි දැක ගන්නට
මා නෙත කල පින් මද බව වැටහේ
එහෙයින් හිමි අනුරුව අභියස සිට
බවුන් වඩමි මෙත් බුදුන් දකින්නට
දෙව්රම් වෙහෙරේ...//
Thursday, November 14, 2013
උඳුවප් පසළොස්වක පොහොය
- උඳුවප් පුර පසළොස්‌වක පොහෝ දිනය ශ්‍රී ලාංකික අපට විශේෂයෙන් වැදගත් වන්නේ අප රටේ භික්‌ෂුණී ශාසනයේ ආරම්භය සහ අසදෘෂ බෝධිරාජයාණන් වහන්සේගේ ආගමනය නිසයි.
- ධර්මාශෝක අධිරාජයාගේ මෙහෙයවීමෙන් මිහිඳු මහරහතන් වහන්සේ ලක්‌දිව සම්බුද්ධ ශාසනය පොසොන් පොහෝ දින පිහිටු වූ සේක. ඒ අවස්‌ථාවේදී දහම් ඇසීමට පැමිණි අනුලා දේවිය ප්‍රධාන කාන්තාවන් 500ක් දෙනා පැවිදිවීමට අවසර ඉල්ලා තිබේ. එම ඉල්ලීම ගැන මිහිඳු මාහිමියන් දෙවන පෑතිස් රජතුමාට අවවාද කරනු ලැබුවේ තමන්ට කාන්තාවන් පැවිදි කළ නොහැකි බැවින් තම සොහොයුරිය වූ සංඝමිත්තා මහරහත් මෙහෙණිය දඹදිව සිට වැඩමවාගැනීම වඩාත්ම උචිත බවයි. ඒ සමගම ජීවමාන බුදුන් හා සමානව සැළකෙන, වන්දනාමානයට පාත්‍රව තිබූ ජයශ්‍රී මහා බෝධි ශාඛාවක්‌ද වැඩමවාගෙන එන ලෙසද රජතුමාට උපදෙස් දී ඇත.ඒ අනුව රාජදූතයන් අත දෙවන පෑතිස් රජතුමා විසින් හසුනක් පිළියෙල කොට තෑගි බෝගද සමග දඹදිව ධර්මාශෝක මහ රජතුමා වෙත යවා මේ ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබීය. ධර්මාශෝක රජුද මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි සංඝමිත්තා තෙරණියට, ජයශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාවක් සහ බෝධීන් වහන්සේගේ ආරක්‌ෂාවට ආරක්‌ෂක පිරිසකුත් සමග දඹදිව සිට ශ්‍රී ලංකාවට එවන ලදී. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් ලංකාවට එවීම සඳහා බුදුරජාණන් වහන්සේගේද අධිෂ්ඨානයක් තිබූ බව බෝධි වංශ කතා ප්‍රවෘත්තියේ සඳහන්ව ඇත.
- අද ලෝකයේ තිබෙන ඓතිහාසික වශයෙන් වැදගත් ඉතාමත් පැරැණිතම වෘක්‌ෂය හැටියටත්, ලක්‌ෂ සංඛ්‍යාත බෞද්ධයන්ගේ අප්‍රමාණ ගෞරවයටත් පාත්‍ර වී ඇති ජය ශ්‍රී මහ බෝ රජුන් ජීවමාන බුදුන් හා සමානකොට බෞද්ධයන් විසින් සලකනු ලැබේ. මේ බෝධීන් වහන්සේගේ මව් බෝධිය අද ඉන්දියාවේ දක්‌නට නැත.ඒ නිසා අපගේ ජයශ්‍රී මහා බෝධියේ වැදගත්කම අතිශයින් වැඩිය. මේ පුවත් දෙක නිසාම උඳුවප් පුර පසළොස්‌වක පොහොය ශ්‍රී ලාංකික බෞද්ධයන්ට අතිශයින් වැදගත්ය. එපමණක් නොව උඳුවප් පොහොයේ සිට වෙසක් පුර පසළොස්‌වක පොහොය දක්‌වා උදාවන බුදුරජාණනන් වහන්සේගේ ශ්‍රී පාදය සලකුණු කොට ඇති ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන්නේද උඳුවප් පුර පසළොස්‌වක සිටය. ශ්‍රී ලාංකික කාන්තාවන්ට පැවිදි බව ලැබුණු නිසා උඳුවප් පොහොය අපගේ කාන්තා පක්‌ෂයට ද බෙහෙවින් වැදගත්ය.
Wednesday, November 6, 2013
2011-7-25 දින බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වූ වස්සාන ධර්ම මාලාවේ ධර්ම දේශණාව
ඇසුරින් සකසන ලදී
මජ්ජිම නිකායේ මූල පන්නාසකය
දේශකයන් වහන්සේ
පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමි.
බුදුරජාණන් වහන්සේ රථ වීනීත සූත්‍රය දේශනා කරන්නේ රජ ගහ නුවර කලන්දක
නිවාපය
නමින්ද හඳුන් වන වේළුවනාරාමයේදී භික්ෂූන් වහන්සේලා පිරිසක් අරඹයායි.
මේ සූත්‍ර යේ
කියැවෙන්නේ සප්ත විශුද්ධිය ගැනයි.
අශ්ව රථ පේළියක් මුල් කර ගෙන දේශනා කරන ලදී.
භික්ෂූන්
විසින් දශ කථාවේ යෙදිය යුතු බවත් දෙතිස් කථාවෙන් වැළකිය යුතු බවත් පැහැදිලි කරමින් මෙමදේශනාව පැහැදිලි කරන ලදී. භික්ෂුවක්
විසින් නිරන්තර පැවැත්විය යුතු යයි උන් වහන්සේ පැහැදිලි කල දශ කථා නම්,
1. අල්පේච්ඡතාව
බොහෝ දේ පරිහරණය නොකර සීමිත ද්‍රව්‍ය ප්‍රමාණයක් පරිහරණය කිරීමට හුරු
පුරුදු වීම තුළින් සරළ ජීවිතයක් ගත කිරීමේ අගය ගැන කථාකිරීම.
2. සන්තුට්ඨිකතාව
ලද දෙයින් සතුටු වීම. යම් යම් දේ ලැබුනැයි කියා හෝ ලැබුනොත් හොදයැයි කියා
හෝ නොසිතා ලද දෙයින් සතුටු වීම ගැන කථාකිරීම.
3. පවිවේකතාව
කණ්ඩායම් වශයෙන් නොව හුදෙකලාව විවේකයෙන් පසුවීමේ වටිනාකම ගැන කථා කිරීමයි.
4. අන්‍යයන් හා මිශ්‍රනොවීම
තෙමේ අන්‍යයන් හා මිශ්‍ර නොවී මිශ්‍ර
නොවීමේ අගය පවසන්නේය.
5. ශීලය
සිල් ආරක්ෂා කිරීම පිළිබඳ කථා කිරීම හෙවත් ප්‍රාතිමොක්ෂ සංවරශීලය,ආජීව
පාරිශුද්ධ ශීලය,ඉන්ද්‍රිය සංවර ශීලය,ප්‍රත්‍ය සන්නිශ්‍රීත ශීලය, යන චතුපාරිශුද්ධ
ශීලය ගැන කථා කිරීම.
6. සමාධිය
භාවනා වැඩීමෙන් සමාධිය උපදවාගැනීමේ හා සමාධිගත වීමේ ශ්‍රේෂ්ඨ බව පිළිබඳ කථා
කිරීම.
7. ප්‍රඥාව
ධර්මානු ධර්ම ප්‍රතිපදාවෙන් යෙදීමෙන් ප්‍රඥාව පහළ වන බව හා ඒ පිළිබඳ අන්‍යයන්
දිරිමත් කිරීම.
8. වීර්යය
තෙමේ පටන් ගත් විර්යයෙන් කටයුතු කරමින් අන්‍යයන්ටද
එහි අගය කියා පායි.
9. විමුක්තිය අර්හත් ඵලය
තෙමේ අර්හත්
ඵලයට පත්ව විමුක්තිය ලැබීමට කවර ක්‍රියා මාර්ගයක් ගත යුතුද යනාදී වශයෙන් කථා
කිරීම.
10.
විමුක්ති ඤාණ දර්ශණය
තමන් විසින් ලබාගත් විමුක්ති විමුක්ති ඤාණ
දර්ශණ ඥනය පිළිබඳ කථා කිරීමෙන් අන්‍යයන් දිරිමත් කිරීම.
මෙම කථා ගැන
බුදුන් වහන්සේ ප්‍රකාශ කළ විට එක් භික්ෂුවක් ඉදිරිපත්ව මෙවන් දශ කථාවෙන් යුත්
භික්ෂුන් වහන්සේ නමක් තමන් අතර සිටින බව ප්‍රකාශ කළේය. එනම් මන්තානි පුත්ත පුණ්ණ තෙරුන් වහන්සේය. උන්වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ
රහතුන් වහන්සේ ගේ ගෝල නමකි. මන්තානි පුත්ත පුණ්ණ තෙරුන් දිනක් සුනාපරන්ත දේශයට
යාමට බුදු හිමියන්ගෙන් අවසර ඉල්ලීය. එම දේශයේ වැසියන් දරුණු පුද්ගලයන් බැවින් බැනීමට
පහර දීමට ජීවිත හානියට පවා ඉඩ ඇති බැවින් එසේ නොයන මෙන් උන්වහන්සේ වදාරණ ලදී. පුණ්ණ
තෙරුන් වහන්සේ ඔවුන් තමන්ට බැන්නොත් ගැහුවේ නැත කියාද, ඔවුන් තමන්ටගැහුවොත් පොලු
මුගුරු වලින් පහර දුන්නේ නැත කියාද, පොලු මුගුරු වලින් පහර දුන්නොත් අවි ආයුධ
වලින් පහර දුන්නේ නැත කියාද, එසේ කළොත් මරනය සිදුකලේ නැත කියාද, මරන සිදු කිරීමට
කටයුතු කලහොත් ජීවිතයෙන් නිදහස් වුනා නේදැයි කියාද සිතා සිත සතුටු වන බව කීය.
මේ පුවත ඇසූ සැරියුත්
තෙරුන්, පුණ්ණ තෙරුන් සැවැත් නුවර අන්ධ වනයට වැඩම කළ අවස්ථාවේ එතැනට වැඩම කරන ලදී.
ආගිය පුවත් විමසීමෙන් පසු සැරියුත් තෙරුන් පුණ්ණ තෙරුන් ගෙන් ආයුස්මත්නි ඔබ වහන්සේ
බ්‍රහ්ම චරියාවේ යෙදෙන්නේ සීල විසුද්ධිය (ශීලයේ පිරිසිදු බව) සඳහා දැයි විමසීය. පුණ්ණ
තෙරනුවෝ නැත ස්වාමීනී යයි පිළිවදන් දුනි. එසේ නම් චිත්ත විසුද්ධිය(සිතේ පිරිසිදු
බව) සඳහා දැයි විමසීය.නැත ස්වාමීනී යි පිළිතුරු දුන් පසු එසේ නම් දිට්ඨි
විසුද්ධිය( නාම රූප දෙක දෙක ඇති සැටි දැකීම) සඳහා මහන දම් පුරන්නේදැයි විමසිය.එයටද
නැත ස්වාමීනී යයි කී කළ එසේ නම් කංඛා විතරණ විසුද්ධිය (නාමරූප පිළිබඳසැක දුරු
කිරීම) සඳහා බ්‍රහ්ම චර්යා රකින්නේ දැයි විමසීය. එසේත් නොවන බව පුණ්ණ තෙරුණුවෝ ප්‍රකාශ
කළ කල්හි සැරියුත් හිමියන් විමසන්නේ එසේනම් මග්ගා මග්ග ඤාණ දර්ශණ විශුද්ධිය (මඟ
නොමඟ දැනීම) සඳහාද? නැත ස්වාමීනී යයි කී කල්හි එසේ නම් ප්‍රතිපදා ඤාණ දර්ශණ
විශුද්ධිය (මුදුන් පැමිණි විදර්ශනා ඥානය සහ සත්‍යානුලෝමික ඥානය සඳහා දැයි
විමසූහ.පුණ්ණ තෙරුණුවෝ එසේද නොවන බව ප්‍රකාශ කළහ.එසේ නම් ඤාණ දර්ශණ විශුද්ධිය(සෝවාන්
ආදී සතර මාර්ග) සඳහා දැයි විමසූ විට උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒ කිසිවකටත් නොවන බවයි.
එවිට උන්
වහන්සේගෙන් විමසන්නේ කුමක් සඳහා බ්‍රහ්ම චර්යාවේ හැසිරෙන්නේදැයි විමසූහ. පුණ්ණ
තෙරුන් කියන්නේ අනුපාදිශේෂ නිර්වාන ධාතුව සඳහා බවයි. මේ ප්‍රකාශයට සැරියුත් තෙරුන්
පුදුමයට පත්ව සප්ත විශුද්ධියෙන් තොරව නිර්වාන ධාතුවක් නොමැතියැයි කියා එසේ නම් ඔබ බුදුරජුන්
වෙත මහණ දම් පුරන්නේ සප්ත විශුද්ධියෙන් තොරවවූ අනුපාදිශේෂ පරිනිර්වාන ධාතුවක් සඳහා
දැයි විමසා සිටි සේක.නැත ස්වමෙීනී යයි කියි. මේ අවස්ථාවේදී පුණ්ණ තෙරුන් වහන්සේ
පවසන්නේ ස්වාමීනී ඔබ වහන්සේට උදාහරණයකින් මෙය පැහැදිලි කරන්නම් කියා මෙසේ උදාහරනය
ඉදිරි පත් කළේය.කොසොල් රජතුමා ඉතා ඈත ගමක
කටයුත්තකට යාමට සූදානම්ව එම මාර්ගයේ ස්ථාන 6 ක අශ්ව රථ 6 ක් සූදානම් කළ සේක.පළමු
රථයෙන් තරමක් දුර ගමන් කර වෙහෙසට පත් අශ්වයා මුදා හැර දෙවන රථයෙන් ගමන ආරම්භ
කළේය.එම අශ්වයාද තෙවන ස්ථානයේදි මුදා හැර ඊලඟ රථයෙන් ගමන් කරයි.මෙසේ සියළු රථවලින් වේගයෙන් ගමන් කර අවසන් රථයෙන් නියමිත තැනට
යයි.කවුරුන් හෝ මේ ගමන පැමිණියේ මේ රථයෙන්දැයි ඇසුව හොත් එසේ යයි කියයි.තමන් රථ
අතහැරිය බව හෝ කරත්ත හතකින් පැමිණි බව හෝ නොකියයි.සප්ත විශුද්ධියෙන් අනුපාදිශේෂ
නිර්වාණයට පත්වෙන්නේද ඒ ආකාරයට මයි. ක්‍රම ක්‍රමයෙන් අවසාන ඉලක්කයට යනවා හැර එකින්
එකට මාරු වන බවක් නොපෙනේ .එබැවින් උපාධානයන් අල්ලා ගැනීමක් සිදු නොවේ යයි ප්‍රකාශ
කළ සේක.සැරියුත් තෙරුන් සාධු සාධු කියා සතුට ප්‍රකාශ කළහ. මේ අවස්ථාවේදී ඔබ වහන්සේ කවුදැයි කියා පුණ්ණ තෙරුන් විමසීය.ඒ වන
තුරු සැරියුත් හිමියන් හඳුනාගෙන නොසිටි සේක.තමන් වහන්සේගේ නම උපතිස්ස බවත්
සැරියුත් නමින්ද ආමන්ත්‍රනය කරන බවත් පැවසූහ.
මේ අවස්ථාවේ
පුණ්ණ හිමියන් බොහෝ සෙයින් කම්පාවට පත්ව මේ මහා පුරුෂයෙකු සමඟ නේද මා මේ කථා
කරන්නේ යි වහාම සැරියුත් හිමියන් වන්දනා කොට සමාය අයැද සිටියහ.මේ තෙරුන් වහන්සේ
සප්ත විශුද්ධිය මනා කොට විස්තර කරන ලද බව ත් උන්වහන්සේ අති දක්ෂ භික්ෂූන් වහන්සේ
නමක් බවත් සැරියුත් හිමියෝ ප්‍රකාශ කළහ.දෙදෙනාම මහත් සේ සතුටට පත්වූහ.
Subscribe to:
Posts (Atom)